යාපනය සිසු මරණ: සැකකරුවන්ගෙන් ඉල්ලීමක්

  • 2017 මාර්තු 8

යාපනය සරසවි සිසුන් දෙදෙනකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය උතුරු සහ නැගෙනහිර පළාත්වලින් බැහැර වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස කළ ඉල්ලීමකට නීතිපතිවරයා විරෝධය පළ කළේය.

එම නඩුවේ සැකකරුවන් ලෙස රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන පොලිස් නිලධාරීන් පස් දෙනා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාළ නඩුව යාපනය අධිකරණයේ විභාගයට ගැනීම හේතුවෙන් තමන්ට නීතිවේදීන්ගේ සහාය ලබාගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවය.

කොළඹින් නීතිවේදීන් රැගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පවසන සැකකරුවෝ යාපනය ප්‍රදේශයේ කිසිදු නීතිවේදියකු තමන් වෙනුවෙන් පෙනී නොසිටින බවත් සිය පෙත්සමේ සඳහන් කරති.

එම කරුණ සැලකිල්ලට ගෙන අදාළ නඩුව උතුර සහ නැගෙනහිර පළාත්වලින් බැහැර වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සැකකරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නීතිවේදියා, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා එකඟතාව පළකර ඇති බව සඳහන් කළේය.

එයට එකඟතාව පළ නොකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා අදාළ පෙත්සම විභාග කොට කඩිනමින් තීන්දුවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය අප්‍රේල් මස 06 වෙනි දින පැවැත්වීමට අධිකරණය නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර