මල්වතු, අස්ගිරි පාර්ශවවලින් අධිකරණයට ඉල්ලීමක්

  • 2017 මාර්තු 8
Image caption වසා දමා තිබෙන මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි මාර්ගය විවෘත කරන්නැයි ඉල්ලමින් කාලෙකට ඉහතදී පැවති උද්ඝෝෂණයක්

දැනට වසා දමා තිබෙන මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට පිහිටි මාර්ගය සම්බන්ධයෙන් පැවැත්වෙන පෙත්සම් විභාගය හමුවේ කරුණු දැක්වීමට අවසර දෙන මෙන් අස්ගිරිය සහ මල්වතු මහා විහාර පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අදාළ මාර්ගය විවෘත කරන්නැයි නියෝගයක් පනවන ලෙස ඉල්ලා සිටිමින් මහනුවර ප්‍රදේශවාසින් පිරිසක් විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාළ මාර්ගය වසා තැබීම නිසා ප්‍රදේශවාසීන්ට විශාල පිඩා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

මෙය මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාලනයවන ප්‍රසිද්ධ මාර්ගයක් බව පෙන්වාදෙන පෙත්සම්කරුවෝ, ඇතැමුන් එයට ආගමික මුහුණුවරක් ලබාදී මාර්ගය විවෘත කිරීමට විරෝධය දක්වමින් සිටින බවට ද චෝදනා කරති.

ඒ අවස්ථාවේ කරුණු දැක්වූ අස්ගිරිය සහ මල්වතු පාර්ශව මෙන්ම දළදා මාලිගාවේ සතර දේවාලයේ නිලමේවරු වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීහු, අදාළ මාර්ගය විවෘත කළහොත් ඓතිහාසික දළදා මාලිගාවට දැඩි අගතියක් සිදුවන බව සඳහන් කළහ.

පෙත්සමට අදාලව කරුණු දැක්වීමට අවසර දෙන මෙන් ඔවුන් කරන ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය විරෝධය පළකරයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අධිකරණය, පෙත්සම මැයි මස 26 වෙනි දින යළි කැඳවන මෙන් නියම කළේය.