JO Dinesh
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"පාර්ලිමේන්තු ගැටුමට වගකිව යුත්තේ ආණ්ඩුවයි"

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුවන ගැටුම් සඳහා ආණ්ඩුව වගකිව යුතුබව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (මාර්තු 09) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ රථගාලේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී බීබීසිය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සතියක පාර්ලිමේන්තු තහනමක් පැණවීමට එරෙහිව කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුව පාර්ලිමේන්තුවේ පැවැත්වීමට ඉඩ ලබා නොදුන් බව පවසමින්, එය පාර්ලිමේන්තු රථගාලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

පාර්ලිමේන්තුව පැවැත්වීම සඳහා දිනකට ජනතා මුදල් රුපියල් ලක්ෂ 46ක් වැයවෙද්දී, නිතර පාර්ලිමේන්තුවේ ගැටුම් ඇතිකරගෙන ජනතා මුදල් නාස්ති කිරීම ගැන බීබීසිය මෙහිදී විමසූ අතර එයට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසුවේ, ඒ සඳහා ආණ්ඩුව වගකිව යුතු බවය.

ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටින්නේ ඇමතිධූර නොව, තමන්ට ඡන්දය දුන් ජනතාව නියෝජනය කිරීමේ විපක්ෂයේ අයිතිය බව පැවසූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු තහනම් කිරීම මගින් ඒකාබද්ධ විපක්ෂය සතු සියළු පාර්ලිමේන්තු බලතල උදුරාගෙන ඇති බවය.