මාලදිවයිනේ රඳවාගත් ලාංකිකයා ගැන රජයට ඉල්ලීමක්

මාලදිවයින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් සැකපිට 2015 වසරේ ඔක්තෝබර් මාසයේ අග භාගයේ පටන් එරට අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයාගේ බිරිඳ අද (මාර්තු 10) ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

වසරකට වැඩි කාලයක් මාලදිවයින් බලධාරීන් විසින් සිය සැමියා අත්අඩංගුවේ තැබීමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලා සිටීම ඇගේ පැමිණිල්ලේ අරමුණ විණි.

2015 ඔක්තෝබර් මාසයේ මාලදිවයිනට ගිය ලහිරු මධුශංක දින කිහිපයකට පසු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි ස්නයිපර් වෙඩික්කරුවකු යන සැකය මතය.

සිය ස්වාමියා රැකියාවක් සොයා මාලදිවයිනට ගිය බව පවසන ලහිරු මධුශංකගේ බිරිඳ චාන්දනී මධුරංගි ජයතුංග එහි දී ඔහු හමුවීමට නියමිතව සිටි පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දින කිහිපයකට පසු යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට සැරසුණු අවස්ථාවේ ගුවන් තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට පත් වී ඇති බව සඳහන් කළාය.

නොකළ වරදකට අත්අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් මාලදිවයින් පොලිස් අත්අඩංගුවේ පසුවන ඔහු දැනට මාස 5ක කාලයක් අධිකරණයට ඉදිරිපත්කර නොමැති බව චාන්දනී මධුරංගි ජයතුංග පවසන්නීය.

ලහිරු මධුශංක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිරතුරුවම අවධානයෙන් පසුවන අතර විදේශ කටයුතු ඇමති සහ ලේකම්වරයා මේ පිළිබඳ මාලදිවයින් බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවත් ලහිරු මධුශංක අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති අංශයේ අධ්‍යක්ෂක CAHM විජේරත්න පැවසීය.

විදේශීය රටක අධිකරණමය කටයුත්තකට මැදිහත්වීමට ශ්‍රී ලංකාවට නොහැකි බව පෙන්වාදෙන විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති අංශයේ අධ්‍යක්ෂකවරයා, එසේවුවද, එම අධිකරණ කටයුතු කඩිනම් කරන ලෙස ශ්‍රී ලංකා රජය මාලදිවයින් රජයෙන් ඉල්ලා ඇති බව පැවසුවේය.

මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම අධිකරණමය කටයුත්ත සම්බන්ධයෙන් නිසි අවධානයෙන් සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති අංශයේ අධ්‍යක්ෂකවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්