දඹුලු රෝහලේ පවුල් සැලසුම් සායන පිළිබඳ විමර්ශනයක්

Image copyright Getty Images

සිය අකමැත්ත නොසලකා උපත් පාලන සායන සඳහා තමන් යොමුකළ බව දඹුළු රෝහලේ ප්‍රතිකාර ලද කාන්තාවන් කීපදෙනකු ප්‍රකාශ කර ඇතත් ඔවුන් ඒ සඳහා බලහත්කාරයෙන් යොදාගත් බවක් පෙනෙන්නට නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

දඹුළු රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් විසින් කාන්තාවන්ගේ අකමැත්ත නොසලකා ඔවුන් පවුල් සැලසුම් සායනවලට යොමුකරන බවට වාර්තා පළවීමත් සමඟ එය සමාජ කතිකාවක් බවට පත්විය.

ඒ පිළිබඳව බීබීසිය කළ විමසීමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඉහත කී කාන්තාවන් කරන ප්‍රකාශන සම්බන්ධයෙන් විභාගකොට වාර්තාවක් සපයන මෙන් මධ්‍යම පළාතේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට සහ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට දැනුම් දුන් බව කියාසිටියේය.

"ඔවුන් ඇඳ ඉහපත් කීපයක් පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව බොහෝ කාන්තාවන් ඔවුන්ගේ කැමැත්තෙන් පවුල් සැලසුම් සායනවලට සහභාගී වෙලා තිබෙන බව පෙන්නුම් කෙරෙනවා. කීප දෙනෙක් සම්බන්ධයෙන් පමණයි ප්‍රශ්නයක් තියෙන බවක් පේන්නේ" සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

Image copyright Getty Images

එකඟතාවයකින් තොරව පවුල් සායන සඳහා කාන්තාවන් සහභාගී කර ගැනීම් සිදු වී ඇත්නම් ඒ ගැන විමර්ශනයක් සිදු කෙරෙන තෙක් එම සායන සිදු කිරීම තාවකාලිකව නතර කරනමෙන් අදාළ රෝහලට දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම ප්‍රශ්නය සමාජ කතිකාවක් බවට පත්වුණේ ඊට පමණ ඉක්මවා ලබා දුන් ප්‍රචාරය නිසා බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්