කච්චතිව් මංගල්‍යයට ඉන්දීය බැතිමතුන් නැහැ

  • 2017 මාර්තු 12

කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අද (මාර්තු 12) පැවැත්වුණු වාර්ෂික මංගල්‍යයට සහභාගිවීම ඉන්දීය බැතිමතුන් වර්ජනයකර තිබුණි.

මංගල්‍යයට සහභාගි වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පැවසුවේ නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයෙකුට වෙඩි තබා ඝාතනය කළේ යැයි පවතින චෝදනා මත ඉන්දීය බැතිමතුන් මෙම උත්සවය වර්ජනය කළ බවය.

ඉන්දීය බැතිමතුන් 5100ක් පමණ බෝට්ටු 152කින් පැමිණෙන බව කලින් දැණුම්දී තිබුණද මෙවර සහභාගී වූයේ ලාංකික බැතිමතුන් 6600ක් පමණක් බව නාවික හමුදාපතිවරයා සදහන් කළේය.

නාවික හමුදාව ඉන්දීය ධීවරයෙකුට වෙඩි තබා නොමැති බව පැවසූ නාවික හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ නීති විරෝධී ලෙස පැමිණෙන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීම පමණක් නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බවය.

අදාළ බෝට්ටුවේ සවිකර තිබූ GPRS යන්ත්‍රය පරීක්ෂණ කටයුතු සදහා ඉදිරිපත් කරන මෙන් දැණුම් දී ඇතත් එය මෙතෙක් ලැබී නොමැති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය යාපනය දියෝකිසය භාර අනුනායක රදගුරු ජෝෂප් ජෙබනායගම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

යාපනයේ සිට මුහුදු සැතපුම් හතළිස් දෙකක් පමණ දුරින් පිහිටි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මංගල්‍යයට වසරක් පාසා ඉන්දීය බැතිමතුන් හා ශ්‍රී ලාංකික බැතිමතුන් සහභාගි වන අතර ඊට වැඩි වශයෙන්ම සහභාගි වන්නේ ධීවර ජනතාවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර