මහනුවර වායු දූෂණය: "මුඛවාඩම් පැළඳීම යෝග්‍යයි"

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"මහනුවර වායු දූෂණය කොළඹ වගේ සිව් ගුණයක්"

ඓතිහාසික මහනුවර නගරයේ පවතින අධික වායු දූෂණය හමුවේ මුඛවාඩම් පැළඳීම යෝග්‍ය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ සම්මාණිත මහාචාර්ය ඕ.ඒ ඉලේපෙරුම පවසයි.

දිනකට මහනුවර නගරය තුළට රථවාහන ලක්ෂයක් පමණ ඇතුළුවන බව කී සම්මාණිත මහාචාර්යවරයා එහි පවතින වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි බව කියා සිටියේ පර්යේෂණ වාර්තා උපුටා දක්වමිනි.

මහනුවර නගරය කඳු වළල්ලකින් වටවී පිහිටා තිබීම හේතුවෙන් කොළඹ නගරයේ මෙන් දූෂිත වායු විසිරී යාමක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

දූෂිත වායු ආඝ්‍රාණය කිරීම හේතුවෙන්, අධික ලෙස දුම්පානය කරන පුද්ගලයන්ට වැළඳෙන කල්ගත පුප්පුශිය පෙනහලු රෝගය (COPD) වැළඳුණු පාසල් ළමුන් වැඩි වශයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව මහනුවර මහ රෝහලෙන් දැනගැනීමට ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.

ශ්වසන රෝග


"ඩීසල් දුම පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මහනුවර වැව වටා පාසල් කීපයක් තිබෙනවා. එම දරුවන් නිතරම ආශ්වාස කරන්නේ මේ දූෂිත වාතය. ඒ නිසා තමයි මේ තත්වය ඇති වෙලා තිබෙන්නේ" යනුවෙන් සම්මාණිත මහාචාර්යවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අවදානම මග හරවා ගැනීම සඳහා ප්‍රයෝජනයටගත යුත්තේ සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් විසින් භාවිතයට ගනු ලබන මුඛවාඩම්වලට වෙනස්, සක්‍රිය කාබන් ස්ථරයක් අඩංගු මුඛවාඩම් බවත් ඔහු පැවසීය.



වායු දූෂණය හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විශාල ලෙස මහජන මුදල් වැයවන බව පෙන්වා දුන් සම්මාණිත මහාචාර්යවරයා මහනුවර නගරයට එල්ල වී ඇති පාරිසරික බලපෑම හමුවේ එහි පැමිණෙන විදේශික සංචාරකයන්ගේ අඩුවක් සිදුවිය හැකි බව ද සඳහන් කළේය.


පිළියම් මොනවාද?

ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට මහනුවර මහියංගණය ඒ 26 මාර්ගය වසා දැමීමෙන් මතුවී තිබෙන මාර්ග තදබදය ද වායු දූෂණයට එක් හේතුවක් වී ඇති බව පෙන්වා දෙන සම්මාණිත මහාචාර්යවරයා පවතින තත්වයට පිළියමක් වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග කීපයක් යෝජනා කරයි.

  • පේරාදෙණිය - මහනුවර පාර සහ විලියම් ගොපල්ලව පාර එක් පසෙකට දිවෙන මාර්ග (One-way) බවට පත් කිරීම.
  • දුරස්ථ බස් සේවා නගරයෙන් පිටත ස්ථානවලින් ගමන් ඇරඹීම

වායු දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් වසරකට ලොව පුරා පුද්ගලයන් පනස් පන් ලක්ෂයක් අකාලයේ මිය යන බව අධ්‍යනයකින් හෙළි වී ඇති බව මහාචාර්යවරයා කියා සිටී.

රථවාහන, බලාගාර සහ කර්මාන්තශාලාවලින් පිටවන දුමාරය, ගල් අඟුරු සහ දැව දහනය වායු දූෂණයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්