ඒකාබද්ධ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රු 2500 දීමනාවට විරුද්ධ වුනේ නැහැ - දිනේෂ්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් 2500 ක පැමිණීමේ දීමනාවක් හා ලක්ෂයක මාසික දීමනාවක් ලබාදීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය කිසිවිටක විරෝධය පළ නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

අද (මාර්තු 15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තුව වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් මන්ත්‍රීවරුන්ට දීමනා පිරිනමුවද එහි ප්‍රගතියක් දැක ගැනීමට නොහැකි මන්දැයි බීබීසී සිංහල සේවය මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ වැරදි කරන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් බවය.

පාර්ලිමේන්තු තහනම


පාර්ලිමේන්තුවට පැමිණීම වළකාලමින් පසුගියදා පැනවුණු සතියක තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ පිළිබඳ තමන් කණගාටු නොවන බවය.

කථානායකවරයාගේ නියෝගයට අනුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවත්ව නොයාම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළට පොලිසිය කැඳවීමට සිදු විය.

එහිදී පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තුව තුළට පැමිණියේ බඳ පටි හා රාජකාරි අංකය නොමැතිවය.

එය පාර්ලිමේන්තුව තුළට පොලිසිය ඇතුළු වීමේදී අනුගමනය කරන සම්ප්‍රදාය බව පාර්ලිමේන්තුව වේත්‍රධාරීවරයා පැවසුව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ එවන් සම්ප්‍රදායක් නොමැති බවය.



'පිස්සන් කොටුවක්'

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවකට සමාන කරමින් කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තුව එවන් තත්වයකට පත්වෙමින් යන බවය.