චන්දිමාල් ශ්‍රී ලංකාව ලකුණු 338 දක්වා ගෙනයයි

  • 2017 මාර්තු 16
Image caption පන්දු යවන්නන්ට වාසිදායක තනතිල්ලක සංයමයකින් යුතුවූ ඔහුගේ මෙම ඉනිම ක්‍රිකට් විචාරකයන්ගේද පැසසුමට ලක්විය

තම අටවෙනි ටෙස්ට් ශතකය ලබා ගනිමින් දිනේෂ් චන්දිමාල් දැක්වූ අනගි පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද (මාර්තු 16) තම පළමු ඉනිම සඳහා ලකුණු 338ක් ලබා ගැනීමට හැකිවිය.

තරගයේ දෙවෙනි දිනය ආරම්භ වනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 238 ක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්ගේ හා සුරංග ලක්මාල් යන පිතිකරුවන් දැක්වූ දක්ෂතා හේතුවෙන් තරගකාරී ලකුණු 338ක් දක්වා යාමට සමත් විය.

එක් අවස්ථාවක ලකුණු 35කට ප්‍රථම කඩුලු 3 බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම ආරක්ෂා කර ගනිමින් දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදුණි. පන්දු යවන්නන්ට වාසිදායක තනතිල්ලක සංයමයකින් යුතුවූ ඔහුගේ මෙම ඉනිම ක්‍රිකට් විචාරකයන්ගේද පැසසුමට ලක්විය.

දිනේෂ් චන්දිමාල් දැවී යද්දී ඔහු ලකුණු 138ක් රැස් කර තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ය. ඔහු රැස් කර තිබුනේ ලකුණු 35ක් පමණි.

මෙම තරගාවලියට පෙර දිනේෂ් චන්දිමාල් ලකුණු අතර නොසිටි අතර ඔහු කණ්ඩායමෙන් ඉවත් කළ යුතු බවට ඇතැම් ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍ය ජාලවල නිතර හඬ නගනු දක්නට ලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර