කින්නියා ඩෙංගු: "පාසල් වසාදැමීම විසඳුම නොවෙයි"

BBC Tamil

කින්නියා ප්‍රදේශයේ පාසල් වසා දැමීම ඩෙංගු රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා පිළියමක් නොවන බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු අධ්‍යනය කිරීම සඳහා අද (මාර්තු 19) කින්නියා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

ඩෙංගු උවදුර පැතිර යාමත් සමග කින්නියා ප්‍රදේශයේ පාසල් හැටහයක් වසා දැමීමට පසුගිය 15 වෙනිදා බලධාරීහු කටයුතු කළහ.

"පාසල් වසා දැමීමට ගත් තීරණය එතරම් හොඳ තීරණයක් නෙවෙයි. වසංගතයක් පැතිර යනවා කියන විගස පාසල් වසා දැමීමට පෙර අපි මේ පිළිබඳ සාකච්ඡා කළ යුතුව තිබුණා." යනුවෙන් ඇමතිවරයා එහිදී පැවසීය.

'පාසල් ආරක්ෂිතයි'

Image caption "නමුත් රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා ඒත් මරණ සංඛ්‍යාව යම් පාලනයකට පැමිණ තිබෙනවා"

හෙට (මාර්තු 20) පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කී ඔහු " ළමයි පාසල් යෑම තුළ මේ වසංගතය අඩු කර ගැනීමට හැකිය කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පාසල් ශුද්ධ පවිත්‍ර කරන එක ඉතා පහසුයි. ගෙවල්වල ඉන්නවට වඩා පාසල තුළ ළමයින්ට ආරක්ෂාව වැඩි කියන එක වෛද්‍ය නිලධාරීන්ගේ මතය වී තිබෙනවා" යනුවෙන් සඳහන් කළේය.

පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පොලිස් සහ හමුදා සාමාජිකයන් වැඩි පිරිසකගේ සහයෝගය ලබා දීමට එම ආයතනවල ප්‍රධානීන් එකඟ වූ බව කී ඇමතිවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩෙංගු රෝග මර්දන අංශයේ වෛද්‍ය කණ්ඩායමක් කින්නියා ප්‍රදේශයට පැමිණ ඇති බවත් පැවසීය.

වසංගත තත්වය මර්දනය කර ගැනීමට යම්තාක් දුරට හැකිව ඇතැයි වෛද්‍ය නිලධාරීන් පවසා සිටි බව කී අමාත්‍ය රෆුෆ් හකීම් "නමුත් රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වී තිබෙනවා ඒත් මරණ සංඛ්‍යාව යම් පාලනයකට පැමිණ තිබෙනවා" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර