අකීකරු දැදුරුඔයට නොපෙනෙන ගොවි කඳුළු

  • 2017 මාර්තු 19
Image caption ශ්‍රී ලංකාවේ ගංවතුරක්-සංරක්ෂිත ඡායාරූපයකි

දැදුරුඔය හරස් කරමින් වාරියපොළ ඉදිකරණ ලද නව ජලාශයේ ජලය හිටිඅඩියේ මුදාහරිනු ලැබීම් නිසා තමන් අන්ත අසරණ තත්වයකට පත්ව සිටින බව හලාවත අවට ගම්මාන කීපයක ජනතාව කියාසිටිති.

දැදුරුඔය ජලාශයේ විශාල ජලකඳක් සිරකොට තබා එම ඔරොත්තු නොදෙන ජලය එකවර මුදා හරිනු ලැබීමත් සමඟ තම ගම්බිම් ජලයට යටවෙන බව එම ගම්වැසියෝ පවසති.

ආරියගම,නරියාගම,මුගුනුවටවන,විලත්තව සහ ජයබිම ඇතුළු ගම්මාන දහතුනක දෙදහසකට අධික පවුල් එම ජල උවදුරට මුහුණ පා සිටින බව වාර්තාවෙයි.

පසුගිය වසර පහක කාලය ඇතුළත අවස්ථා කීපයකදීම තමන් එවැනි ජලගැලීම්වලින් බැට කෑ බව කියා සිටින ජනතාව කලින් පැවති තත්වය සමඟ බලන විට මේවනවිට දැදුරුඔය අසාමාන්‍ය මට්ටමින් අඩි දහසකින් පමණ පළල් වී ඇති බවත් පෙන්වා දෙති.

දැදුරුඔය ජලප්‍රවාහයට හසුවීමෙන් සිය නිවාස සහ වගාබිම් විනාශවෙන බවට ගම්වාසීහු පැමිණිලි කරති.

'වගාබිම් විනාශ වෙලා'

'දැදුරුඔය ජලාශය ඉදිකිරීමට පෙර ඔයේ ජල ධාරිතාව පිළිබඳව තක්සේරුවක් කෙරුණේ නැහැ. එකවර මහා ජලකඳක් ඔයට මුදා හැරීම සමඟ ඊට ඔරොත්තු නොදෙන ජලපහර නිසා ඔයේ ඉවුරු විනාශ වෙලා.ඉස්සර මෙවැනි තත්වයක් තිබුනේ නැහැ.ඔයට වැටෙන ජලය නිදහසේ ගලාගෙන ගියා' ආරියගම වැසියෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

ඔයට ඔරොත්තු නොදෙන ජලය ඉවුරු බිඳ පිටාර ගැලීමෙන් නිවාස සහ වගාබිම් විනාශ වී ඇති ආකාරය ඔහු බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදියාට දැක ගැනීමට සැලස්වීය.

බලධාරීන් සිය ගමට පැමිණ ප්‍රශ්නය විසඳන බවට පොරොන්දු වුනත් මෙතෙක් කිසිවක් ඉටු නොවූ බව ආරියගම නිවැසි මියුරියල් ජානකී පවසන්නීය.

'ඇමැතිතුමාත් ආවා.රජයේ නිලධාරිනුත් ආවා. ඔයේ ඉවුරු හදන බවට ඔවුන් පොරොන්දු දුන්නා.තාමත් කිසිම දෙයක් ඉටු වී නැහැ.අපේ ගමේ ආණ්ඩුවේ රස්සා කරන අය නැහැ. ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. දැදුරුඔය ගොඩ දාල පොල්ගස් ටිකත් විනාශ වුනා'මියුරියල් ජයන්ති තමන් මුහුණ දී සිටින ඉරණම විස්තර කළාය.

ඉහත කී තත්වය සම්බන්ධයෙන් බීබීසිය රජයේ ප්‍රතිචාරය විමසීමේදී අදහස් දැක්වූ හලාවත ප්‍රාදේශීය ලේකම් අනුර දිසානායක, මේවනවිට සැලසුමක් පිළියෙළ කර ඇති නමුත් එය ක්‍රියාවට නැංවීම සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් අරමුදල් ලැබී නොමැති බව සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්