පූතින්ගේ ඇරයුමින් මෛත්‍රී රුසියාවට

පුතින් සහ මෛත්‍රිපාල සිරිසේන Image copyright Getty Images

ජනාධිපති ව්ලදිමීර් පූතින් ගේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාර්තු 22 සිට 24 වෙනිදා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි.

1974 වසරේ එවක අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට හැට වසරක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කෙරෙන සංවත්සරික උත්සවය ද නිල සංචාරය අතරතුර පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.

මාර්තු 23 වෙනිදා දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී ධීවර, සංචාරක, සංස්කෘතික, විද්‍යා සහ තාක්ෂණික අංශ මෙන්ම අධ්‍යාපනික සහයෝගීතාව යන ක්ෂේත්‍රවල ගිවිසුම් ගණනාවක් අත්සන් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු තවත් අමාත්‍යවරුන් පස් දෙනෙකු රුසියානු සංචාරය සඳහා සහභාගී වනු ඇති බව විදේශ අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර