මවට HIV නිසා දැරියකගේ අධ්‍යාපනයට බාධා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මවට HIV නිසා දැරියකගේ අධ්‍යාපනයට බාධා

මවට HIV ආසාදනය වීම මත දැරියකට ඇයගේ පාසල් ගමනට තර්ජන මතු වී ඇති බව එම දැරියගේ භාරකරුවෝ පවසති.

දැරිය පාසලෙන් අස්කර වෙනත් පාසලකට රැගෙන යන මෙන් ගනේමුල්ල ප්‍රදේශයේ ඇය ඉගනුම ලබන කනිෂ්ඨ පාසලේ බලධාරීන් තමන් පාසලට කැඳවා පැවැසූ බව ඔවුහු බීබීසී සිංහල සේවයට පැවසුහ.

"අපි අහන්නේ මේ දරුවට එවැනි ආසාදනයක් තියෙනවා කියලා දෙමව්පියන් කියන්නේ කොහොමද? නමුත් මම අහන්නේ දරුවාගේ අම්මට තිබ්බා කියලා දරුවට ඉගනීමට අයිතියක් නැද්ද?" යනුවෙන් දැරියගේ භාරකරු විමසීය.

අද (මාර්තු 20) පෙරවරුවේ පාසල ඉදිරිපිටට රැස්වූ දෙමව්පියන් පිරිසක් දැරිය පාසලට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ කළහ.

විරෝධයක්

කෙසේ වෙතත් දැරිය පාසල වෙත රැගෙන යාමට ඇයගේ භාරකරුවන් සමත් වූ අතර මාධ්‍යවේදීන් ගේ කැමරා ඉදිරියේ පසුබැස ගිය දෙමව්පියෝ පසුව පාසල ඉදිරිපිට පැය කීපයක් රැඳී සිටියහ.

දැරියට HIV ආසාදනය වී ඇත්දැයි යන්න තමන්ට දැනගැනීමට අවශ්‍ය බව ඔවුහු පැවසුහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යක්ෂ වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල, "එච්අයිවී ආසාදිත බව දැනගෙන හෝ නොදැනගෙන ඕනෑම තැනක අධ්‍යාපනය ලැබීමේ අයිතිය ළමයෙකුට තිබෙනවා. ඒ අයිතිවාසිකම අපි සුරක්ෂිත කළ යුතුයි. එහෙම නැතිනම් සිදු වෙන්නේ ඒ දරුවාගේ අනාගතයම විනාශ කර දැමීමක්" යැයි පැවසීය.

වෛද්‍ය මතය

අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.

පසුගිය වසරේ කුලියාපිටිය ප්‍රදේශයෙන් මෙවැනිම සිදුවීමක් වාර්තා වූ අතර පසුව එම දරුවාට අධ්‍යාපනය ලබා දීම සඳහා මහනුවර ප්‍රමුඛ පෙළ පාසලක් ඉදිරිපත් විය.

මේ අතර දැරියට නිදහසේ සිය අධ්‍යාපනය කරගෙන යාමට නොහැකි පරිසරයක් උදාකිරීම තරයේ හෙලාදකින බව බස්නාහිර පළාතේ මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.

පවුලේ HIV රෝගියකු සිටියත් පාසල් අධ්‍යාපනය ලබන කුඩා දරුවෙකු ඊට වගකිවයුතු නැති බව මහ ඇමතිවරයා පෙන්වාදෙයි.

එම දැරියගේ සමාජයීය වරප්‍රසාද වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ඔහු සඳහන් කළේය.

දැනගැනීමට ඇති පරිදි අදාළ දැරිය පාසලට ඇතුළත් කරගැනීමට විදුහල්පතිවරයා එකඟ වී ඇතැයි සඳහන් කළ මහ ඇමතිවරයා, එසේ නොවුනහොත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඊළඟ ක්‍රියාමාර්ග තීරණය කළ යුතුව ඇති බව ද කියා සිටියේය.