රටේ ණය බර ගැන ජනතාව දැනුවත් කිරීමට ලක්ෂ 260ක් වියදම් කිරීම සාධාරණද ?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රාජපක්ෂ ණය ගැන කියන්න රුපියල් ලක්ෂ 260 ක්

රාජපක්ෂ රජය සමයේ ලබාගත් ණය ප්‍රමාණය සහ එම ණය ගෙවන ආකරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිණිස වර්තමාන රජය රුපියල් ලක්ෂ 260ක් වියදම් කිරීම සාධාරණ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන ණය අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක මුදලක් රජය වියදම් කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරවු විය.

ඒ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බීබීසී සිංහල සේවය යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමතිවරයා,: "ණය ගැන දැනුවත් කිරීමට වියදමක් තියෙනවා, මිනිස්සු ඒක දන්නේ නැහැ, රාජපක්ෂ ආණ්ඩු සමයේ වෙච්ච දැවැන්ත ණය ප්‍රමාණය හා ඒකත් ඔබතුමාලට ගෙවන්න වෙනවා කියලා මේ රටේ මිනිස්සුන්ට තේරුම් යන්න එපෑ" යනුවෙන් පැවසීය.

"ටොම් පච කියනව, ඒවායේ විවේචන අඩුපාඩු පෙන්වදෙන්න ඕනේ අපි," යනුවෙන්ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පැවසුවේ මෙම මුදල ද වියදම් කර ඇත්තේ ජනමාධ්‍ය ආයතන සඳහා බවය.

"ආණ්ඩුවට එරෙහිව ගෙනයන බොරු ප්‍රචාර සඳහා පිළිතුරු දීමට ආණ්ඩුවට ප්‍රචාරක වියදමක් දැරීමට සිදුවන," බව ජමනාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැවසුවේ 2016 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9429ක් බවය.

2010 වසරේ රුපියල් බිලියන 4590ක් වූ සමස්ත ණය ප්‍රමාණය 2016 වන විට 105% කින් වැඩිවී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.

පසුගිය වසර 20 තුළ මෙම ණය ගෙවීම සඳහා නිසි වැඩපිළිවෙලක් නොතිබිම මෙම අර්බුදයට හේතුවූ බව ආශු මාරසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.