බැසිල් රාජපක්ෂ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මල්වාන ඉඩම ගැන බැසිල් රාජපක්ෂ

මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම වෙන්දේසි කර එම මුදල අධිකරණය භාරයට ගැනීමේ තීන්දුවට එරෙහිව විධායකයත්, කැබිනට් මණ්ඩලයත් මැදිහත්වීම මින් පෙර කිසිදිනෙක සිදු නොවූවක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට චෝදනා කෙරෙන මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 16 ක ඉඩම හා නිවස ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවිකරන ලෙස අධිකරණය පසුගිය ඔක්තෝබර් මාසයේ තීන්දු කළේය. වෙන්දේසියේ අලෙවිකිරීමෙන් පසු එම මුදල පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය භාරයට පත්කරන ලෙස ද ඒ අවස්ථාවේ නියෝග කෙරුණි.

රුපියල් මිලියන 208කට තක්සේරු කෙරුණු එම දේපොළ වෙන්දේසි කිරීම ලබන 29 වෙනි දිනට නියමිතව තිබූ නමුත්, එම ඉඩම සහ ගොඩනැගිල්ල මහජන ශුභසිද්ධිය සඳහා යොදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පවසමින් එය වෙන්දේසි කිරීම අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඒ පිළිබඳව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගෙන් කරුණු විමසූහ.

එම ඉඩමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පවසයි. මෙවැනි වටිනා ඉඩමකට හිමිකරුවෙක් නොමැතිවීම ගැන විමසීමේදී ඔහු පැවසුවේ ඒ ගැන තමන් නොදන්නා බවය.

ඉඩමට අදාළ කිසිදු ලියාපදිංචි ඔප්පුවක සිය නම සටහන්ව නොමැති බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සුදානම් බව පැවසූ බැසිල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා, සැප්තම්බරයේ පැවැත්වීමට නියමිත පළාත් සභා කිහිපයක මැතිවරණය නියමිත වේලාවට පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කළ ප්‍රකාශය අගය කළේය.