ජනාධිපති මෛත්‍රී ක්‍රෙම්ලිනයේ

  • 2017 මාර්තු 23
Image copyright President media
Image caption ජනාධිපතිවරුන් දෙදෙනා ක්‍රෙම්ලිනයේ

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවීය සබඳතා ආරම්භ වී වසර හැටක් ගතවෙන මොහොතක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුසියාවේ සංචාරය කරනු ලැබීම වැදගත් සිද්ධියක් බව ජනාධිපති ව්ලදිමීර් පුතින් පවසයි.

රුසියාවේ නායකයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23)ක්‍රෙම්ලිනයේ දී මුණගැසුන අවස්ථාවේදී.

නායකයන් දෙදෙනා අතර අද මධ්‍යාහ්නයේ පැවැත්වුන සාකච්ඡාවේ දී දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා අගය කළ ජනාධිපති පුතින් ශ්‍රීලංකාවට දියහැකි උදව් දිගටම සිදුකරන බවත් කියා සිටියේය.

එම නොබිඳුණු සබඳතා දිගටම පෙරට ගෙනයාමට අවස්ථාවක් උදාවී ඇති බවත් රුසියාවේ ජනාධිපතිවරයා පවසයි.

ඉන්දියාවේ පැවැත්වුන 'ගෝව' සමුළුවේ දී මොස්කව් නගරයට පැමිණෙන මෙන් තමාට කළ ආරාධනය පිළිබඳව ජනාධිපති පුතින්ට තුති පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ දුෂ්කර අවස්ථාවන්හි දී රුසියාව විසින් සිදුකරන ලද උපකාර අගය කිරීමට ලක්කළේය.

එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට රුසියාවෙන් ලැබෙන ආධාර දිගටම සැපයෙනු ඇතැයි බලාපොරොත්තු තබන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

මෙයින් වසර හතළිස් තුනකට පෙර හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක රුසියාවේ සිදුකළ නිල සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් මොස්කව් නගරයේ සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.

දින තුනක මෙම සංචාරය අතරවාරයේ තාක්‍ෂණික සහයෝගීතාවය හුවමාරු කරගැනීම,සංස්කෘතික,සංචාරක සහ ධීවර කටයුතුවලට අදාළ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම් හතරක් ද අත්සන් තැබීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර