මොස්කව්-කොළඹ සෘජු ගුවන් සේවා යළිත්?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජනාධිපති පූතින් Image copyright Presidential Secretariat

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර බිඳ වැටී තිබෙන සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීම පිළිබඳව රුසියානු ජනාධිපතිවරයාගේ අවධානය පළ වී තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති ව්ලදිමීර් පූතින් ඒ බව සඳහන් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ තුන් දින රුසියානු නිල සංචාරය අතරවාරයේ රාජ්‍ය නායකයන් දෙදෙනා අතර පැවති දීර්ඝ සාකච්ඡාවේදීය.

වසර 43 කට පසුව ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වූ පළමු වතාව මෙයයි.

"ඊට අමතරව ඔහු කිවුවා සංචාරක ක්ෂේත්‍රයේ තවත් ප්‍රවර්ධනය කළ යුතු වැඩසටහන්වලට අපි සහාය වෙනවා කියලා," ජනාධිපතිවරයා සමග රුසියානු සංචාරයට එක් වී සිටින ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

එමෙන්ම පරිපාලන කටයුතු අඩපණ වී තිබෙන ශ්‍රී ලංකාවේ තේ වතු වෙනුවෙන් ආයෝජනය කිරීමට රුසියානු ආයෝජකයන් යෙදවීමේ හැකියාව තිබෙන බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවාය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් කරද්දී ශ්‍රී ලංකා තේ සහ බණ්ඩාරනායක නාමය රුසියානු වැසියන් අතර තවමත් ඉතා ජනප්‍රිය බව සිය සංචාරයේදී දැකගන්නට ලැබුන බවත් ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක වැඩිදුරටත් පැවසීය.