ඩෙංගු
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පුත්තලමේ 'හඳුනා නොගත් වෛරස් උණක්'

  • 2017 මාර්තු 24

පුත්තලම අවට ගම්මාන සියයකට ආසන්න සංඛ්‍යාවක හඳුනා නොගත් වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතින බව පුත්තලම මූලික රෝහලේ බලධාරීහු පවසති.

එම වෛරසය වැළඳුණු රෝගීන් තුළ උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.

එමෙන්ම එවැනි රෝගීන්ගේ රුධිර පට්ටිකා මට්ටම පහළ බැසීම විශේෂ ලක්ෂණයක් ලෙස දැකිය හැකි බවත් වෛද්‍යවරු පවසති.

බාහිර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට පුත්තලම රෝහලට රෝගීන් අටසියයක් පමණ පැමිණෙන බව කී එහි බාහිර රෝගී අංශය සහ හදිසි නේවාසික ඒකකය භාරව කටයුතු කරන වෛද්‍ය මොහොමඩ් ජවුසික් ඉන් හයසියයකට පමණ හඳුනා නොගත් වෛරස් උණ රෝග ලක්ෂණ ඇති බව සඳහන් කළේය.

සතියක පමණ කාලයක සිට පුත්තලම මූලික රෝහලේ කායික හා ළමා ඒකක රෝගීන්ගෙන් පිරී පවතින බව කී එම රෝහලේ වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක අවශ්‍ය තරම් ඖෂධ තිබුණ ද හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පැවසීය.

ඩෙංගුවලට සමාන රෝග ලක්ෂණ

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට ජීවිත හානි වාර්තා වී නොමැති නමුත් අදාළ වෛරසයයේ රෝග ලක්ෂණ හා ඩෙංගු උණ රෝගය අතර සමානතා දක්නට තිබෙන බවය.

මෙම උණ රෝගය පවුලේ එක් අයකුට වැළඳීමෙන් නිවසේ සිටින සෙසු සාමාජිකයන්ටත් වෛරසය ශරීර ගතවී උණ රෝගය වැළඳිය හැකි බව වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක සඳහන් කළේය.

වෛරසය වැළඳුණු වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද රෝහලේ ප්‍රතිකාර ලබන අතර නිසි ප්‍රතිකාර ලබා දුන්න ද නේවාසික පහසුකම් අවම මට්ටමේ පවතින බවට රෝගීහු මැසිවිලි නගති.

සබැඳි විෂයයන්