රවී
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අපි පටි තදකර ගෙනයි ඉන්නේ - මුදල් ඇමති

  • 2017 මාර්තු 25

පසුගිය රජයේ අමාත්‍යංශවල සිදු වූ හානිය වත්මන් ආණ්ඩුව යටතේ සිදු නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ 'වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා හමුවේ පටි තද කර ගනිමින් ආදර්ශයක් ලබා දීම ආණ්ඩුවේ ඉහළ පෙළින් ආරම්භ විය යුතු නොවේදැ'යි බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.

"ඒක තමයි අපි කරලා තියෙන්නේ. එදා අමාත්‍යංශවල සිදු වූ හානිය අද මොන අමාත්‍යංශයේ ද සිද්ධ වෙන්නේ කියලා මට පෙන්වන්න" ඔහු කියා සිටියේය.

'Banker' සඟරාව විසින් ලබා දෙනු ලැබූ ආසියා ශාන්තිකර කලාපයේ හොඳම මුදල් ඇමතිවරයාට හිමි සම්මානය පිළිගැනීම සඳහා ලන්ඩන් නුවර සංචාරයක නිරත වී සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (මාර්තු 25 ) බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සජීවී සංවාදයකට එක් විය.

ජාතික ප්‍රතිපත්තියක්

විදෙස් ආයෝජකයන් රට තුළට ගෙන්වා ගැනීම සඳහා විශ්වාසදායක වාතාවරණයක් රට තුළ ගොඩ නැගී ඇති බව කී ඇමතිවරයා දෙස් විදෙස් ආයෝජකයන් දිරිමත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම ආයෝජන සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගා ඇති බවත් ඔහු පැවසීය.

මහ බැංකු බැඳුම්කරය, මැති ඇමතිවරුන් සඳහා ලබා දෙන වාහන බලපත්‍ර, ජංගම දුරකථන සහ නොමිලේ අන්තර්ජාල සේවා ලබා දෙන බවට වූ මැතිවරණ පොරොන්දු ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් පළ කළේය.