ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිතයන් 'පන්ලක්ෂයක්'

දෘශ්‍යාබාධිත Image copyright ullstein bild

ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ජන සංඛ්‍යාව වැඩිවෙමින් ඇතත් රටතුළ අක්ෂි විශේෂඥයන්ගේ හිඟයක් ඇතැයි දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පවසයි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ජන සංඛ්‍යාව වැඩිවීමට එක හේතුවක් වී තිබෙන්නේ ඇතැමුන් සිය ඇස පිළිබඳව දක්වන නොසැලකිල්ල නිසා බවත් පෙන්වා දුන්නේය.

'ලංකාව තුළ දෘශ්‍යාබාධිත සහ පෙනීම දුර්වල විශාල ජන සංඛ්‍යාවක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ ජනගහන වාර්තා අනුව සියලු ආකාරයේ ආබාධිත ජනයා මුළු ජනගහනයෙන් 8.3% ක් පමණ වෙනවා. මෙය ජනගහනයෙන් ලක්ෂ දහඅටකට ආසන්න සංඛ්‍යාවක්. ඔවුන් අතරින් දෘශ්‍යාබාධිත ජන සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් අටදාහක් පමණ වෙනවා' දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පවසයි.

ක්‍රමයෙන් දෘෂ්ටි හීනතාවයට ලක්වෙමින් සිටින ජන සංඛ්‍යාව සමඟ බලන විට ඉහත කී සංඛ්‍යා ලේඛනවල තවත් වැඩිවීමක් සිදු වන බව ඔහු සඳහන් කරයි.

එම තත්වය රටේ සියලු අංශවලට බලපාන බවත් දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පෙන්වා දෙයි.

අක්ෂි රෝග හඳුනා නොගත් කණ්ඩායම්

ඇසේ සුද මතුවීම පිළිබඳව සඳහන් කළ සුගත් වසන්ත ද සිල්වා එය ඉවත්කොට කාච බද්ධ කිරීමේ සායන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සියලු ප්‍රධාන රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල සිදු කෙරෙන බවත් සඳහන් කළේය.

'ඒත් ප්‍රශ්නය ශ්‍රී ලාංකික ප්‍රජාව ඇස් පරෙස්සම් කර ගැනීමට කොතරම් උනන්දුවක් දක්වනවාද කියන එකයි.අපේ ශ්‍රී ලංකික ප්‍රජාවගේ මනෝභාවය වන්නේ යමක් නැතිවුනාම පසුතැවිලි වීම' බව දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා සඳහන් කළේය.

'ඇහේ සුද වේදනාකාරී නැහැ. ඒත් ඇසේ සුද මතුවූ විට සමහරුන් හිතනවා ඒ ඔහුට පෙනෙන මට්ටමයි කියල. හැබැයි පස්සේ සුද ඉවත් කරල කාචයක් දැම්මට පස්සෙයි ඔවුන් තේරුම් ගන්නේ කලින් තමන්ට පෙනුනේ නැහැයි කියන කාරණේ' දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා පැහැදිලි කරයි.

සායන පහසුකම්

'අක්ෂි විශේෂඥයන් සීයකටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ඔවුන්ට ප්‍රතිකාර ලබාදිය හැකි සංඛ්‍යාව සීමිත එකක්.ඒ නිසා දැනට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුව තියෙනව.අක්ෂි විශේෂඥයන් පුහුණු කිරීමට රජය සම්පත් යෙදවිය යුතුයි' දෘශ්‍යාබාධිත උපාධිධරයන්ගේ සංගමයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා අවධාරණය කරයි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර