'පොදු රාජ්‍ය මණ්ඩලයේ හොඳම තරුණිය' වූ ශ්‍රී ලාංකිකයා

  • 2017 මාර්තු 27
ක්‍රිස්ටල් රීඩ්
Image caption ක්‍රිස්ටල් රීඩ් 'පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානය ද සමග

ආබාධ සහිත පුද්ගලයන් උදෙසා කැපවීම හේතුවෙන් 'පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික තරුණියක් සමත්වී සිටී.

ඇය ක්‍රිස්ටල් රීඩ්.

ජනිත් රුක්මාල් සමග එක්ව 'එනේබල් ලංකා' (Enable Lanka) පදනම නිර්මාණය කොට ඔවුන් දෙදෙනා වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් දියත් කළහ.

'වසරේ හොඳම තරුණ පුද්ගලයා' සම්මානයෙන් ඇය පිදුම් ලැබීමට හේතු වූයේ ඔවුන්ගේ එම කැපවීමයි.

ක්‍රිස්ටල් පවසන අන්දමට එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඇයයි.

සිය සම්මානය ලබාගැනීම සඳහා ලන්ඩනයට පැමිණි අවස්ථාවේ ඇය බීබීසී සංදේශය මැදිරියටද ගොඩවැදුනාය.

Image caption බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ගෙන් සුභපැතුම්

සිය පදනම හරහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති තුලින් ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය උපාංග ලබා දීමට අමතරව ඔවුන්ට සමාජයේ අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන බව ක්‍රිස්ටල් පවසන්නීය.

2015 වසරේ මහ මැතිවරණය සමයේ දී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සහාය ද ඇතිව දිවයින පුරා විසිර සිටින ආබාධ සහිත පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් ක්‍රියාකිරීමට සහ ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට 'එනේබල් ලංකා පදනම' සමත් වූ බව එහි සම නිර්මාතෘවරිය පවසයි.

ඒ යටතේ මැතිවරණ කොමසාරිස් වරයාගේ මැදිහත් වීමෙන් ආබාධ සහිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විශේෂ පහසුකම් සැපයීමට සිය පදනම මූලික වී ක්‍රියා කළ බවත් ක්‍රිස්ටල් පවසනීය.

ආබාධ සහිත පුද්ගලයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ පහසුකම් සැපයිය යුතු බව රජය හඳුනාගෙන තිබුනද එතෙක් එම සේවා නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් නොතිබුණු බව ඇය පෙන්වා දෙයි.

ඊට අමතරව පසුගිය වසරේ 'LISN පෙරළිය' නමින් ව්‍යාපෘතියක් දියත් කිරීමට සිය පදනම ක්‍රියා කළ බව පැවසූ ඇය, ඒ හරහා දෘශ්‍යාබාධිත විශ්ව විද්‍යාල සිසුන්ට තොරතුරු දැනගැනීමට ඇති බාධා අවම කිරීමට ක්‍රියා කළ බවත් බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය. (ක්‍රිස්ටල් රීඩ් සමග සාකච්ඡාවට සවන්දෙන්න)

ඒ වෙනුවෙන් දෘශ්‍යාබාධිත සිසුන්ට තොරතුරු දැනගැනීම සඳහා භාවිත කළ හැකි ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වා දීමට සිය පදනමට හැකියාව ලැබුණත්, ඉතා දුෂ්කර පළාත් වල සිට අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත පැමිණ සිටි ඇතැම් ආබාධ සහිත ශිෂ්‍යයන්ට ස්මාට් ජංගම දුරකථන ලබා දීම දුෂ්කර කටයුත්තක් වූ බවයි ඇය පවසන්නේ.

කෙසේ වෙතත් සැම්සන් සමාගම සිය ව්‍යාපෘතියේ කොටස්කරුවකු කරගැනීමට සමත් වීමත් සමග එම ස්මාට් ජංගම දුරකථන ලබා ගැනීමටත් ලංකාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල කීපයක දෘශ්‍යාබාධිත සිසුන් වෙත එම උපාංග ප්‍රධානය කිරීමටත් හැකි වූ බව ඇය පැහැදිලි කළාය.

බොහෝ අවස්ථා වල සිය ව්‍යාපෘතිවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම අපහසු වුවත් සමාගම් වලට එම ව්‍යාපෘතියේ කොටස්කාරිත්වයක් හිමිකර දීම තුලින් අවශ්‍ය උපාංග සහ සේවා ලබා ගැනීමට හැකියාව පවතින බව 'එනේබල් ලංකා පදනමේ' සම නිර්මාතෘවරිය පෙන්වා දෙන්නීය.

මෙම සම්මානය දිනා ගැනීම හේතුවෙන් සිය පදනමේ ඉදිරි ව්‍යාපෘති සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයෙන්ද මූල්‍ය ප්‍රතිපාදනයක් ලැබුණු බව ක්‍රිස්ටල් රීඩ් බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් පැවසීය.