ජිනීවා වියදම: 'එදා මිලියන 63යි, අද මිලියන 5.5යි'

  • 2017 මාර්තු 28
Image caption ශ්‍රී ලංකාවට දැන් ලෝකයේ ප්‍රබල මිත්‍ර රටවල් ඇති බවයි විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යවරයා පවසන්නේ

2015 ජනවාරි 8 වෙනි දිනට පෙර ජාත්‍යන්තර වශයෙන් කොන් වී සිටි ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික වේදිකාවේ ප්‍රධාන ක්‍රියාකාරී රටක් බවට පත්කිරීමට ආණ්ඩුවට හැකිවී තිබෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පෙන්වාදුන්නේ ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙලට රටවල් 47ක වාර්තාගත සහයක් ලැබීම එයට උදාහරණයක් බවය.

ශ්‍රී ලංකාවට දැන් ලෝකයේ ප්‍රබල මිත්‍ර රටවල් සිටින බව පැවසූ විදේශ අමාත්‍යවරයා, සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමේදී මෙන්ම පසුගිය වසරේ සවුදි අරාබියේ මරණ දණ්ඩනය හිමිව තිබූ ශ්‍රී ලාංකික කාන්තාවක් බේරාගැනීමේදී එම මිත්‍රයන් ශ්‍රී ලංකාවට උපකාර කළ බව ද සඳහන් කළේය.

2014 වසරේ මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට සහභාගි වූ දූත පිරිස රුපියල් මිලියන 63කට අධික මහජන මුදල් නාස්ති කළ බවට චෝදනා කළ විදේශ අමාත්‍යවරයා, පසුගිය සතියේ පැවති සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ වියදම රුපියල් මිලියන 5.5ක් පමණක් වූ බව පෙන්වා දුන්නේය.

මෙවර ජනාධිපතිවරයා සමග රුසියාණු සචාරයේ නිරත වූයේ ආරක්ෂකයන් ඇතුළුව 47 දෙනෙක් පමණක් වූ බව පැවසූ ඔහු, 2010 මහින්ද රාජපක්ෂ රුසියාවේ කළ සාමාන්‍ය සංචාරයකට 88 දෙනකු හා වෙනම ගුවන් යානයක් රැගෙන ගිය බව සඳහන් කළේය.

"ගුවන් යානයට විතරක් රුපියල් මිලියන 38ක් ගෙවල තියෙනවා, අපි ගියේ සාමාන්‍ය ගුවන් යානයක," ඔහු පැවසීය.

මෙලෙස විදේශ කටයුතු අමාත්‍යංශය අවභාවිත කළ පිරිසක් අද සිය අමාත්‍යංශයට නගන චෝදනා විහිළු සහගත බව ද විදේශ අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් පැවසීය.