කොටුව බෝම්බ ප්‍රහාරය: විසි වසරක සිරදඬුවමක්

  • 2017 මාර්තු 29
කොළඹ දී දුම්රියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක් Image copyright Getty Images
Image caption කොළඹ දී දුම්රියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක්

2008 දී කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දුන්නේ යයි චෝදනා ලබා සිටි දෙමළ ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය වසර 20 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

මහාධිකරණය කනකසබේ දේවදාසන් නමැති සැකකරුට එම දඬුවම නියම කළේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

2008 පෙබරවාරි මස 03 වෙනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකිරීමට ආධාර අනුබල දුන්නේ යයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

ප්‍රහාරයෙදී 12 දෙනෙකු මරණයට පත්ව තවත් 92 දෙදෙනකු තුවාල ලැබූ බව ද චෝදනා පත්‍රයේ සඳහන් විය.

කොළඹ ඩීඑස් සේනානායක විදුහලේ ශිෂ්‍යයන් 09 දෙනෙකු ද මියගිය පිරිස අතර සිටියහ.

දීර්ඝ විභාගය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්ව ඇති බව සඳහන් කළේය.