දිනේෂ් ගුණවර්ධන
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වීරවංශ උපවාසය ගැන 'ජනපති සමග සාකච්ඡා කළා'

  • 2017 මාර්තු 29

විමල් වීරවංශ මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ දියත්කර තිබෙන උපවාසය ගැන ඒකාබද්ධ විපක්ෂය අඟහරුවාදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළ ඔහු, එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පළ කළ ප්‍රතිචාරය ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

"අපි ජනාධිපතිවරයා හා අගමැතිවරයා හම්බ වුනු බව සත්‍යයි. ඔවුන් කියපු දේ මට කියන්න බැහැ," මන්ත්‍රීවරයා පැවසීය.

'වඩුවෙක්, කම්කරුවෙක් නොවෙයි'

විමල් විරවංශ මන්ත්‍රීවරයා ආරම්භ කර ඇති උපවාසයේ සත්‍ය තත්වය එහිදී ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පැහැදිලි කර දුන් බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

ඇප ලබාගැනීම පිණිස විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙම උපවාසය ආරම්භ නොකළ බව මන්ත්‍රීවරයා සඳහන් කළ අවස්ථාවේ, ඔහු උපවාසය ආරම්භ කළේ ඇප ප්‍රතික්ෂේපවීමෙන් අනතුරුව බව බීබීසිය පෙන්වා දුන්නේය.

එයට සෘජු ප්‍රතිචාරයක් පළ නොකළ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, අතීතයේදී ද දේශපාලන ස්ථාවරයන් වෙනුවෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙවන් උපවාස සිදුකර ඇති බව පැවසීය.

තවමත් නඩු පැවරීමකින් තොරව බන්ධනාගාරයේ රඳවා සිටින අනිකුත් සාමාන්‍ය සිරකරුවනුත් මෙලෙස උපවාස ආරම්භ කළහොත් මතුවිය හැකි තත්වය ගැන විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ, එවිට ඔවුන්ට ද බන්ධනාගාර රෝහලේදී ප්‍රතිකාර ලබාදීමට සිදුවන බවය.

වඩුවකු, කම්කරුවකු මෙන් නොව විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයෙන් ගම්‍යවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂිත සැලකිල්ලක් දැක්විය යුතු බවදැයි විමසූ විට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ, පාර්ලිමේන්තුව අධිකරණයට වඩා උත්තරීතර බව මීට ඉහතදී කතානායකවරුන් ද තීන්දු කර තිබෙන බවය.

මේ අතර විමල් විරවංශ මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදාදා ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහුට සේලයින් හා දියර ලැබ දෙනු ලැබුවද ඔහු තවමත් ආහාර ප්‍රතික්ෂේප කරන බව වාර්තාවේ.