ප්‍රේමදාස ක්‍රීඩාංගනයට වසර 5ට පසු ජයක් ලැබේද ?

  • 2017 අප්‍රේල් 4
Image copyright srilankacricket.lk
Image caption කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියෙන් ආරම්භවේ.

කණ්ඩායම් දෙකම ටෙස්ට් සහ එක්දින තරගවලි සම සමව අවසන් කිරීම හේතුවෙන් අද ඇරඹෙන විස්සයි විස්ස තරගාවලිය දෙපිලටම වැදගත් වේ.

එය ජයගන්නා කණ්ඩායම මෙම සංචාරයේ ජයග්‍රාහකයන් ලෙස හැදින්විය හැකිය.

ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස තරගාවලි ජයගනිමින් මෙම තරගාවලියට ඉදිරිපත් වුවත් මෙම තරගාවලිය පැවැත්වෙන ප්‍රේමදාස ක්‍රීඩාංගනය ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරගවල දී එතරම් වාසිදායක වී නැත.

ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කර ඇති විස්සයි විස්ස තරග 11න් ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

ජයග්‍රාහී මාවතට...

එම ජයග්‍රහණය ද වාර්තා කර ඇත්තේ මින් වසර 5කට පමණ පෙර එනම්, 2012 වසරේදීය.

Image copyright AFP

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කර ඇති තරග 11න් 7ක්ම ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර හම්බන්තොට ක්‍රීඩාංගනයේ පැවති තරග 6න් 3ක් ජයග්‍රහණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු ඇකඩමිය පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නිතර පුහුණුවන ප්‍රේමදාස ක්‍රීඩාංගනය ජයග්‍රාහී මාවතට යොමුකිරීමට හොඳ අවස්ථාවක් මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානයේ පසුවන අතර මෙම තරගාවලිය පරාජය වුවහොත් ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානය අතර ලකුණු පරතරය අඩුවේ.

බංගලාදේශයට විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල හිමිවී ඇත්තේ 10 වෙනි ස්ථානයය.

ලසිත් මාලිංග අද තරගයට ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේගකාරී පිතිකරුවන්ට සහ තුන් ඉරියව්වේ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙමින් ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්