H1NI දැඩි ලෙස පැතිර ඇත්තේ මාධ්‍යයේ - රාජිත

  • 2017 අප්‍රේල් 5
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"H1N1 තදින් පැතිරිලා තියෙන්නේ මාධ්‍යයේ"

H1NI වයිරසය රට තුල විශාල මට්ටමකින් පැතිර යාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සිය අමාත්‍යංශයේ වාර්තා දත්ත තොරතුරු අනුව, H1NI වයිරසය දැඩි ලෙස පැතිරීමක් සිදුව නොමැති බව ඇමතිවරයා සඳහන් කළේ අද (05) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වී ඇති H1NI රෝගීන්ගේ සංඛ්‍යාව 528 දෙනකු පමණක් යයි සඳහන් කළ අමාත්‍යවරයා, මෙය වෛරස් උණකට සමාන අසනීපයක් බව පෙන්වා දුන්නේය.

කුඩා දරුවන්ට, ගර්භණී මාතාවන්ට හා වකුගඩු රෝගීන්ට H1NI වෛරස් උණ මගින් බලපෑමක් ඇතිවිය හැකි බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් වයිරසයෙන් ප්‍රවේශම් විය යුතු බවත් සඳහන් කළේය.

H1NI වයිරසය පැතිර යාම සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් රාජ්‍යය එරට පුරවැසියන්ට දැනුම් දීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය ඇමතිවරයා 'වැරදි මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින්' ඔවුන් එසේ ප්‍රකාශ නිකුත් කර ඇති බව කියා සිටියේය.

මැලේරියා තරම් පහසු නැහැ

මේ වසරේ දිනකට ඩෙංගු රෝගීන් 300කට ආසන්න පිරිසක් වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අසාර්ථකත්වය නොවේදැයි බීබීසිය විමසූ විට ඊට පිළිතුරු දුන් රාජිත සේනාරත්න ඇමතිවරයා, ඩෙංගු මර්දනය සෞඛ්‍ය අමාත්‍යාංශයට තනිව කළ හැකි එකක් නොවන බව අවධාරණය කළේය.

ඒ සඳහා ජනතා ව්‍යාපාරයක් අවශ්‍ය බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, සිංගපුර් වැනි ඉතා පිරිසිදු රටවලත් ඩෙංගු රෝගීන් 30,000 ක් පමණ වාර්තා වී ඇති බව සඳහන් කළේය.

රට තුළ වයිරසයක් පැතිරයමින් තිබියදී 'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන් විසින් කැඳවනු ලැබ ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය ගැන මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා, එවන් වැඩවර්ජනයක් ගැන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තමා දැනුවත් කර නොමැති බව කියා සිටියේය..

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර