ශ්‍රී ලංකාවේ පොහොසත්ම පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණද?

  • 2017 අප්‍රේල් 6
Image caption "ඒ ගොල්ලන්ට සල්ලි ලැබුණ හැටි පෙන්වන්න බැහැ"

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරිපත් කර ඇති වාර්ෂික වත්කම් ප්‍රකාශය සහ මැතිවරණකදී පෝස්ටර් වෙනුවෙන් පමණක් ඔවුන් වැයකරන මුදල් ප්‍රමාණය අතර දැවැන්ත පරතරයක් පවතින බව කැෆේ සංවිධානය පවසයි.

මෙම තත්වය නිසා ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශ පිළිගත නොහැකි බව කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

පෝස්ටර් වියදම

"2015 වසරේ අපි දන්නවා ජනාධිපතිවරණයේ අවසන් අදියර තිබුණ. 2015 දී පාර්ලිමේන්තු මැතිවරණයකුත් තිබුණ. මේ දේශපාලන පක්ෂ සියල්ලම ප්‍රාදේශීය සහ ජාතික මට්ටමින් මැතිවරණ ව්‍යාපාර කළා. අප සතුව තිබෙන තොරතුරු අනුවනම් මේ අය තමන්ගේ පෝස්ටර් සඳහාවත් අනිවාර්යයෙන්ම මීට වැඩිය වියදම් කළ යුතුව තිබෙනවා." යනුවෙන් ඔහු පැවසීය.

නව මැතිවරණ නීතිය අනුව සෑම දේශපාලන පක්ෂයක්ම සිය මුදල් වාර්තා වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු අතර ඒ අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක පවසයි.

1971 අප්‍රියෙල් කැරැල්ලේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරුණ මහජන හමුවක් අමතමින් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා, 2015 වසරේ තම පක්ෂයේ වත්කම රුපියල් කෝටි අටහමාරක් වූ බව සඳහන් කළේය.

කළු සල්ලි?

සිය පක්ෂයට එම ආදායම ලැබුණ ආකාරය විස්තර කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සාමාජික අරමුදල්, හිතවතුන්ගේ ආධාර ,මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල වැටුප් මෙන්ම කලක් පාවිච්චි කොට පැරණි වූ වාහන විකිණීමෙන් එම මුදල් ලැබුන ආකාරය පැහැදිලි කළේය.

'අපට අපේ වත්කම් ලද ආකාරය පෙන්වන්න පුළුවන්. ඒත් එක්සත් ජාතික පක්ෂයේ ආදායම කීයද? රුපියල් කෝටි තුනයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදායම රුපියල් කෝටි එක හමාරයි. ඒ ගොල්ලන්ට සල්ලි ලැබුණ හැටි පෙන්වන්න බැහැ. ඇයි? ඔක්කොම කළු සල්ලි' අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.