lal kantha
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සයිටම් විරෝධතා වලට "ජන විරෝධයක් නැහැ"

  • 2017 අප්‍රේල් 7

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පවත්වන විරෝධතා පිළිබඳව ජනතා විරෝධයක් නොමැති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

ඔහු මේ බව කියාසිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෘත්තීය සමිති එකමුතුව අද (අප්‍රේල් 07) කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි.

"සමහර වෘත්තීය සමිති තියෙනවා ඒගොල්ලන්ගේ පුද්ගලික ප්‍රශ්න විසඳගන්න පාරවල් වහන, අරගල කරන. එතකොට ජනතාව විරුද්ධයි. මේකට විරුද්ධ නැහැ. මොකද මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්" යනුවෙන් ඔහු පැවසීය.

කොළඹ මහ රෝහල

අද පැවැත්වුණු වැඩවර්ජනයට හා විරෝධයට ආණ්ඩුව පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී ජාතික වැඩවර්ජනයක් දක්වා මෙය ගෙනයන බව ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතරතුර කොළඹ මහ රෝහලේ බාහිර අංශයේ ප්‍රතිකාර කටයුතු අද සිදු නොකෙරුණු බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර පතා රෝහලට පැමිණි රෝගීන්ට වෙනත් දින ලබාදී ආපසු යැවූ බව ඔහු පැවසීය.

ඕනෑම මොහොතක

රජයේ වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක් දියත් කරන බව තමන්ට කල්තියා දැනුම් දී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ සයිටම් ගැටළුව විසඳීමට අපොහොසත් වුවහොත් ඕනෑම මොහොතක වැඩවර්ජනයක් කැඳවන බව පසුගිය ජනවාරි මස 31වැනිදා සෞඛ්‍යය අමාත්‍යවරයාට දැන්වූ බවය.