වසන්ත ඔබේසේකර: සමාජය විවරණය කළ නිර්භීත කලාකරුවා

  • 2017 අප්‍රේල් 8
වසන්ත ඔබේසේකර Image copyright www.nfc.gov.lk

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට දැවැන්තයෙකු වූ දිවියෙන් සමුගත් වසන්ත ඔබේසේකරයන් වෙනුවෙන් කලාකරුවන් ඇතුළු සිනමා ප්‍රවීණයෝ සිය ශෝකය පළ කරමින් සිටිති.

සිනමා අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකයෙකු, තිර රචකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ වසන්ත ඔබේසේකරයන් මිය යන විට අසූ වෙනි වියේ පසු විය.

වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති, සලෙලුවරම, පලගැටියෝ, දඩයම සහ කැඩපතක ඡායා ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වෙයි.

ඔහුගේ සිනමා මෙහෙවර සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ කියා සිටියේ තමන් ඇතුළු සමකාලීන නිර්මාණකරුවන්ට වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව සහ ඔහුගේ අදහස් විශාල වශයෙන් බලපෑ බවය.

'දෙවන පරපුරේ පුරෝගාමීන්'

වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් ශ්‍රී ලංකාවේ සිනමාවේ දෙවන පරපුරේ පුරෝගාමීන් ලෙස හඳුන්වනු ලැබූ සිනමාවේදී ප්‍රසන්න විතානගේ "ඔහු නොසිටියා නම් මමත්, මගේ සමකාලීන සිනමාකරුවන් වන අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි සිනමාකරුවන් බිහි වෙයි කියලා මම හිතන්නේ නැහැ" යනුවෙන් පැවසීය.

හැත්තෑව දශකයේ සිනමා ප්‍රකාශනය තුළ වසන්ත ඔබේසේකරයන් විසින් පෙන්නුම් කරන ලද "නිර්භීතභාවය" ඔහු වෙත ආකර්ෂණය වීම සඳහා හේතු වූ බවත් ප්‍රසන්න විතානගේ සඳහන් කළේය.

"ලොකු හොරුන් නිදැල්ලේ සිටින විට පොඩි හොරුන් තමයි දැලට හසු වෙන්නේ කියලා, ඔහු ප්‍රහසනයක් වශයෙන් 1970 වසරේ වෙස්ගත්තෝ චිත්‍රපටය නිර්මාණය කළා"

71 කැරැල්ල

"ශ්‍රී ලංකාවේ පළමු තරුණ කැරැල්ල 1971 අසාර්ථක වීමෙන් පසු එදා සමාජය විවරණය කළ නිර්භීත සිනමාකරුවන් දෙදෙනා" ලෙස වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් හැඳින්විය හැකි බවත් ඔහු පැවසීය.

"ධර්මසේන පතිරාජ 1973 අහස් ගව්ව චිත්‍රපටය නිර්මාණය කරමින් මේ රටේ ඉච්ඡාභංගත්වයට පත් නාගරික තරුණයාගේ අසහනය නිරූපනය කළා. 1975 තිරගත වූ වසන්ත ඔබේසේකරගේ වල්මත්වූවෝ චිත්‍රපටයෙන් එසේ ඉච්ඡාභංගත්වයට පත් ගැමි තරුණයාගේ අසහනය නිරූපනය කළා"

වසන්ත ඔබේසේකරයන් සහ ධර්මසේන පතිරාජයන් දැක්වූ සමාජ සවිංඥානකත්වය හේතුවෙන් ඔවුන් දෙදෙනා සෙසු සිනමාකරුවන්ගෙන් බෙදා වෙන් කොට හැඳින්විය හැකි බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ වැඩිදුරටත් කියා සිටියේය.

දිවියෙන් සමුගත් වසන්ත ඔබේසේකරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (අප්‍රේල් 09) සිදු කිරීමට නියමිතය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්