අලුත් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි

  • 2017 අප්‍රේල් 9
Image copyright Getty Images
Image caption "ජනාධිපති උනාට පස්සේ හැම එක්කෙනාම ක්‍රියා කරන්නේ බහුතර ජාතියට විතරයි"

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බවත් දෙමල ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මෙම ප්‍රකාශය සිදුකළේ බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔහු තවදුරටත් කියා සිටියේ සුළු ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා විධායක ජනාධිපති ධුරය පැවතීම හිතකර බවට පවතින මතය නිවැරදි නොවන බවය.

"ඉලෙක්ෂන් වෙලාවේදී සුළු ජාතීන්ගේ සහය ඕන උනත් ජනාධිපති උනාට පස්සේ හැම එක්කෙනාම ක්‍රියා කරන්නේ බහුතර ජාතියට විතරයි. ඒ නිසා මේ සිස්ටම් එක තුළින් සුළු ජාතීන්ට යුක්තිය ඉෂ්ට වෙනවා කියල හිතන එක වැරදි අදහසක්." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් පැවසීය.

දෙමළ ජනතාවගේ කැමැත්ත

දෙමළ ජනතාවගේ ද කැමැත්ත ඇතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිකිරීමකින් තොරව රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව ඔහු අවධාරණය කරයි.

"අපේ රටේ තියෙන ජාතික ප්‍රශ්නය විසඳ ගන්න ඕන නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නම වෙනවා. දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, මීට කලින් තිබුණු ඒවත් දෙමළ ජනතාවගේ කැමැත්ත නැතිව හදපු ඒවා. ඒ නිසා අපි අලුත් වාතාවරණයකට ඇතුළු වෙනවනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නම ඕනේ." යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන දෙදහසක පිරිසක අදහස් විමසා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සකස්කරන ලද අලුත්ම වාර්තාවක් ප්‍රකාර, එයට සහභාගි වූ 66.2% ක පිරිසකගේ අදහස වී තිබෙන්නේ ආණ්ඩුව මේ අවස්ථාවේ ඊට වඩා දැවෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය.

"නායකතුමන්ලාගේ වගකීම"

ජීවන වියදම අඩුකිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වර්ධනය, විරැකියාව අඩුකිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ දූෂණය පිටුදැකීම කෙරෙහි මේ මොහොතේ ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුබව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ "ඒක ගැන වැඩි උනන්දුවක් සිංහල ජනතාව අතර නැති වුනත් එවැනි උනන්දුවක් ඇති කිරීමේ වගකීම තියෙන්නේ නායකතුමන්ලා සතුව. වසර 70ක් තිස්සේ තියෙන මේ ජාතික ප්‍රශ්නය ඉවර කරන්න නම් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතය ජනතාව අතරට එතුමන්ලා ගෙනියන්න ඕන. ඒක නොකරපු නිසා තමයි ඒ උනන්දුව අඩුවෙලා තියෙන්නේ" යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම එකතුවී ආණ්ඩුවක් බිහිකර ඇති මෙම අහනා අවස්ථාව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම සඳහා ප්‍රයෝජනයට ගතයුතුව පවතින බව ඔහු පවසයි.