බංග්ලාදේශ් සන්නද්ධ නායක මුෆ්ටි අබ්දුල්ලා හන්නන් එල්ලා මරා දමයි

  • 2017 අප්‍රේල් 13
Image copyright AFP
Image caption බංග්ලාදේශ් සන්නද්ධ නායක මුෆ්ටි අබ්දුල්ලා හන්නන්

මෙයින් වසර දහතුනකට පෙර 2004 වසරේ බංග්ලාදේශයේ දී බෝම්බ ප්‍රහාරයක් මගින් තිදෙනකු මරා දමා එවකට එහි සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට ද තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටි මුෆ්ටි අබ්දුල්ලා හන්නන් එල්ලා මරා දමනු ලැබුණි.

මුෆ්ටි අබ්දුල්ලා හන්නන්,සන්නද්ධ සංවිධානයක් වන හර්කතුල් ජිහාඩ් අල් ඉස්ලාමීය සන්නද්ධ ව්‍යාපාරයේ නායකයා විය.

බංග්ලාදේශයේ සිල්හෙට් (Sylhet) නගරයේ පිහිටි දාහතර වැනි සියවසට අයත් 'සුෆි' පුදබිමකදී එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අන්වර් චෞදරී තුවාල ලද අතර තිදෙනකු මරණයට පත්විය.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් කොට මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබ සිටි මුෆ්ටි අබ්දුල්ලා හන්නන් සහ තවත් චුදිතයන් දෙදෙනකු බදාදා(12) එල්ලා මරා දමන ලද බව බංග්ලාදේශ් බලධාරීන් විසින් නිවේදනය කරනු ලැබ ඇත.

බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අන්වර් චෞදරීගේ පාදයක් තුවාල වූ අතර එවිට ඔහු පදවිය භාරගෙන දවස් දහඅටක් පමණි.

දැනට පෙරූ රාජ්‍යයේ තානාපතිවරයකු ලෙස කටයුතු කරන අන්වර් චෞදරී 2004 බෝම්බ ප්‍රහාරයට ගොදුරු වීමෙන් අනතුරුව, AFP පුවත් සේවයට ප්‍රකාශයක් කරමින් අත්බෝම්බය තම උදරයෙහි වැදුණ නමුත් එය පුපුරා නොගිය බව ප්‍රකාශ කළේය.

පුපුරා නොගිය බෝම්බය විසි වී ගොස් අසල සිටි දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියාගේ දෙපා අසල පතිතව මහ හඬින් පුපුරා ගිය බව අන්වර් චෞදරී පවසයි.

සෝවියට් හමුදාවන්ට එරෙහිව

චූදිත හන්නන් ඇෆ්ඝනිස්තානයේ දී සෝවියට් හමුදාවලට එරෙහිව සටන් වැදුණ පුද්ගලයෙකි.

1990 දශකයේ අවසන් භාගයේ පටන් මුෆ්ටි අබ්දුල්ලා හන්නන්, ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයක් වන හර්කතුල් ජිහාඩ් අල් ව්‍යාපාරයේ නායකයා හැටියට ක්‍රියාකර ඇති බව පැමිණිලි පාර්ශවයේ නීතිවේදීන් ප්‍රකාශ කරන නමුත් සිය සැමියා ඔහුට එරෙහි සියලු චෝදනාවලට නිවැරදිකරු වන බව ඔහුගේ බිරිඳ පවසන්නීය.

මුෆ්ටි අබ්දුල්ලා හන්නන් මුදාගැනීමේ සැලසුමක් වශයෙන් සන්නද්ධ කණ්ඩායමක් ඔහු රැගෙන යමින් සිටි බන්ධානාගාර වෑන් රථයකට පසුගිය මාසයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද බවක් ද වාර්තා විය.

මුෆ්ටි අබ්දුල්ලා හන්නන් සහ සෙසු චූදිතයන් දෙදෙනාට එරෙහිව 2008 වසරේ නියම කෙරුණ මරණීය දණ්ඩනය ජීවිතාන්ත සිර දඬුවමක් බවට පත්කර ගැනීමට අවසන් මොහොතේ පවා ගනු ලැබුණ ප්‍රයත්නය අසාර්ථක වූ අතර බදාදා රාත්‍රියේ තිදෙනාම එල්ලා මරාදමනු ලැබුණි.