මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 'නිවාස 60 ක් විනාශයි'

  • 2017 අප්‍රේල් 14
Image copyright Nuwan Bopege/Facebook
Image caption නායයාමෙන් විනාශ වූ කුණු කන්ද අසල පිහිටි නිවාස

කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් ඒ අසල පිහිටි නිවාස 60 කට වැඩි ප්‍රමාණයක් යට වී ඇති අතර ජීවිත හානි ද සිදු වී ඇතැයි ද වාර්තා ලැබී තිබෙන බව එස්එම් මරික්කාර් මන්ත්‍රීවරයා පවසයි.

කුණු කන්ද නාය යාම හේතුවෙන් සියයකට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින්නේ යයි අනුමාන කළ හැකි බවත් මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

දහම්පුර ප්‍රදේශයේ හටගත් නාය යාමෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම පිණිස හමුදාව සහ විශේෂ කාර්ය සාධක බලකාය කැඳවා තිබෙන බව ද ඔහු පැවසීය.

කුණු කන්ද නාය යාම හේතුවෙන් ජීවිත හානි සිදු වී ඇති බව ස්වාධීන මාර්ගවලින් මෙතෙක් තහවුරු වී නැත.

එය ඉවත්කරගන්නා ලෙසත්, තවදුරටත් එහි කසල බැහැර නොකරන ලෙසත් තමන් ඇතුළු ප්‍රදේශවාසීන් දිගින් දිගටම කළ ඉල්ලීමට ආණ්ඩුව සවන් නොදුන් බව පවසන එස්එම් මරික්කාර් මන්ත්‍රීවරයා, එම ඉල්ලීමට කන්දුන්නේ නම් මෙවැනි අනතුරක් වලක්වාගත හැකිව තිබුණු බවත් බීබීසී යට පැවසීය.

Image copyright නුවන් බෝපගේ/ ෆේස්බුක්
Image caption නායයාමෙන් විනාශ වූ කුණු කන්ද අසල පිහිටි නිවාස

"මේක තමයි අපි පහුගිය කාලේ කිවුවේ. නියං කාලේ ආවහම කුණු කන්ද පුපුරනවා, වැස්ස ආවහම කඩන් වැටෙනවා කියල," ඔහු පැවසීය.

"පසුගිය දවස් ටිකේ කුණු ගේන එක නතර කළා නම් මේ ක වෙන්නේ නෑ. මේකට පැහැදිලිවම අදාළ දේශපාලන නායකයන් සහ බලධාරීන් වගකිව යුතුයි."

එහෙත් ආණ්ඩුවේ බලධාරීන්ට පමණක් ඇඟිල්ල දිගු කොට වගකීමෙන් බැහැර විය හැකි දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, තමන් කිසිසේත්ම වගකීමෙන් බැහැර නොවන නමුත් කුණු කන්ද ඉවත්කරගන්නා ලෙස තමන් ඇතුළු ප්‍රදේශවාසීහු උද්ඝෝෂණවල පවා නිරතවුවත් එය ඉවත් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කිසිවකුටත් සැබෑ වුවමනාවක් නොතිබුණ බවය.

නාය යාම හේතුවෙන් තුවාල ලැබූ පිරිසක් දැනටමත් රෝහලට ඇතුලත් කර තිබෙන බව පවසන වාර්තාකරුවෝ, බොහෝ පිරිසක් එම ස්ථානයට රැස්වීම හේතුවෙන් බේරාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවලට බාධා හටගෙන තිබෙන බවත් පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්