මරණ දාසයයි, මීතොටමුල්ලට ‘අදත් කුණු’
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මරණ දාසයයි, මීතොටමුල්ලට 'අදත් කුණු'

  • 2017 අප්‍රේල් 15

කොලොන්නාව මීතොටමුල්ල නායගිය කුණු කන්දට යට වීමෙන් මරණයට පත් පුද්ගල සංඛ්‍යාව දහසය තෙක් ඉහළ ගොස් ඇතත් අදත් (අප්‍රේල් 15) එතැනට කුණු දමමින් පැවති බව ප්‍රදේශවාසියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින්, මේ වනවිට මරණ දහසයක් වාර්තා වී ඇති අතර, විනාශයට පත් නිවාසවල සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයන් සොයා දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව කියා සිටියේය.

කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යනමෙන් කොතෙක් ඉල්ලීම් කළත් ඒ සඳහා බලධාරීන් කිසිදු පියවරක් නොගත් බවට චෝදනා කරන ප්‍රදේශවාසීහු ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය පළ කරති.

දේශපාලනඥයන් විසින් සිය ඉල්ලීම නොතකා හළ බව පවසන කුණු කන්ද අවට පදිංචිකරුවෝ අනතුර සිදු වූ ස්ථානයට පැමිණි දේශපාලනඥයන්ට විරෝධය පළකළ අතර එහි නොඑන ලෙස ඔවුන් හමුවේ කියා සිටියහ.

රජයේ වියදමින්

මේ අතර නිවේදනයක් නිකුත් කරන විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මරණයට පත් පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවය.

අනතුර ලක් වූ ස්ථානය අවට අනතුරුදායක තත්වයේ සිටින පිරිස් ඉන් ඉවත් කිරීම වහා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ නමුත් මීතොටමුල්ලට තවදුරටත් කුණු බැහැර නොකරන බවත් එම කසල බැහැර කිරීම සඳහා වෙනත් ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කරයි.