මීතොටමුල්ල: "දේශපාලකයන් කළ මිනීමැරුමක්"

  • 2017 අප්‍රේල් 16
මීතොටමුල්ල ජනතාව

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මේ වනවිට 26 දෙනෙකු මරුමුවට පත් වී ඇති අතර, තවත් 20 දෙනෙකු අතුරුදහන්ව සිටින බව බලධාරීහු පවසති.

දිවි බේරාගත් පුද්ගලයන් මෙන්ම මළසිරුරු සෙවීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මකවන අතර, ඒ සඳහා හමුදා භටයන් 1050 කට ආසන්න කණ්ඩායමක් යොදවා සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

ප්‍රදේශයේ නිවාස 70 ත්, 100 ත් අතර ප්‍රමාණයක් අනතුරෙන් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ.

කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් ප්‍රදේශවාසීන් දිගින් දිගටම කළ ඉල්ලීමට සවන් නොදුන් බැවින් පසුගිය සිකුරාදා හටගත් නාය යාමෙන් සිදු වූ ජීවිත විනාශය "දේශපාලකයන් කළ මිනීමැරුමක්" බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

වත්මන් පාලනයේ මෙන්ම පැවති පාලනයේ නායකයන්ද මෙම මරණවලට වගකිවයුතු බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ සෙනසුරාදා මාධ්‍ය හමුවක් අමතමින් චෝදනා කළේය.

ඉන් අනතුරුව බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සංවාදයකට එක්වෙමින් යළිත් වරක් එම චෝදනාව එල්ල කළ ඔහු, අඩි 40 ක් පමණ පස් කන්දට යට වී සිටින අනෙක් 20 කට ආසන්න පිරිසගේ මළසිරුරු පවා සොයාගැනීමට නොහැකිවනු ඇතැයි බීබීසී සිංහල සේවයට පැවසීය.

කුණු කන්දට එරෙහි උද්ඝෝෂණයක් මෙහෙයවීම හේතුවෙන් නීතිඥ නුවන් බෝපගේ වරක් පොලිසියේ අත්අඩංගුවට ද පත්විය.

කෙසේ නමුත් එහි වගකීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම විවිධ පාර්ශ්ව එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතර, ඇතැම් ප්‍රදේශවාසීන් සහ බලධාරීන්ද පැවති රාජපක්ෂ පාලනයටත් ඇඟිල්ල දිගු කරති.

මේ අතර විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, කුණුකන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක‍්‍රියාමාර්ග ගනිමින් තිබූ නමුත්, මෙම ඛේදවාචකයට පෙර එම සැලසුම් නිමාකිරීමට නොහැකිවීම පිළිබඳව රජයේ කණගාටුව ප‍්‍රකාශ කරන බවත් සඳහන් කළේය.

"මේ සිද්ධිය දැනගත් වහාම මම සියලූදෙනා එක්කම සම්බන්ධවෙලා සාකච්ඡා කළා. මම ජනාධිපතිතුමත් සමඟ සාකච්ඡා කරද්දිත් එතුමා ඒ වනවිටත් සහනදායී සේවා සම්බන්ධීකරණය ක‍්‍රියාත්මක කරලා ඒ වැඩකටයුතු ආරම්භවෙලා තිබුණා," බව ද අගමැතිවරයා පැවසීය.

මීතොටමුල්ල කුණු කන්ද වසා දමා කුණු වෙනත් ස්ථාන දෙකකට ගෙනයාමට තීරණය කරන ලද බවත් ආණ්ඩුව නිවේදනය කර තිබේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයා: "කුණු කන්ද ඉවත් කිරීමට ජනතාවට අපි දුන්න පොරොන්දුව කිසිසේත්ම අයින්වෙලා නැහැ. ඊට අවශ්‍ය සැළසුම් වේගයෙන් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මම ජනාධිපතිතුමා සමඟ මේ ගැන සාකච්ඡා කළාම මීටත් වඩා ඉක්මනින් අපි ක‍්‍රියාත්මක කළ යුතුයි කියල ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා," යනුවෙන්ද සඳහන් කළේය.

අනතුරෙන් මියගිය බොහෝ දෙනාගේ අවමංගල්‍ය උත්සව ඉරිදා (අප්‍රේල් 16) පැවැත්වීමට නියමිත අතර, එයට දේශපාලකයන් සහභාගි වීම ප්‍රදේශවාසීන් විසින් වළක්වනු ලැබ තිබේ.