මීතොටමුල්ල කුණු කන්ද: අහිමි වූ ජීවිත ගැන වගකිවයුත්තේ කවුද?

  • 2017 අප්‍රේල් 16
බේරාගැනීමේ මෙහෙයුම් Image copyright Nuwan Bopege/Facebook

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, තවත් පිරිසක් තවමත් අතුරුදහන්ව සිටිති.

දරුවන් ඇතුළු විස්සකට ආසන්න පිරිසකගේ මළසිරුරු පවා සොයාගැනීමට නොහැකි වනු ඇති බවට ප්‍රදේශවාසීහු බිය පළකරති.

සාමාන්‍යයෙන් ඕනෑම රටක කසල කළමනාකරණය පැවරෙන්නේ පළාත් පාලන ආයතනවලටය.

අනතුරක් අත ළඟම බව ප්‍රදේශවාසීන් දිගින් දිගටම පවසද්දීත්, බස්නාහිර පළාත් සභාව කුණු කන්දේ ගැටලුව විසඳීමට පියවර නොගත්තේ ඇයි?

"සිදු වූ දේ ගැන බොහොම කණගාටු වෙනවා. ඒත් ඒකට වැරදිකරු බස්නාහිර පළාත් සභාව නෙමෙයි," යන්න බීබීසී සිංහල සේවය ඒ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය දුන් පිළිතුරය.

ඒ ඇයි?

"මොකද මේ සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළා. ඔය එංගලන්ත සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවක්. නමුත් ඒක ඉදිරිපත් කරලා ඒක කරගෙන යන්න නාගරික සංවර්ධන අධිකාරිය ඒ අදාළ ඉඩම් කොටස දුන්නේ නෑ."

'එහෙම ඉල්ලීමක් නෑ'

Image copyright iSura Devapriya/Facebook
Image caption "එදා අපිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අවස්ථාව ලැබුන නම් අද මෙවැනි කණගාටුදායක සිද්ධියක් ඇතිවෙන්නේ නෑ. මේක දේශපාලන කුහකකම මත ඇතිවෙච්ච දෙයක්"

එහෙත් නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මහ ඇමතිවරයා එවැනි ඉල්ලීමක් නොකළ බවය.

බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, කසලවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රාගාරයක් ඉදිකිරීමේ අරමුණින් මීතොටමුල්ල ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2008 දී පමණ පවරාගනු ලැබ තිබෙන බව පැවසීය.

ඒ අතරවාරයේ කොළඹ නගර සභාව අනවසරයෙන් එම ඉඩමේ කුණු බැහැර කිරීම ආරම්භ කිරීම හේතුවෙන්, අදාළ ව්‍යාපෘතිය ඇණහිට ඇති බවත් සභාපතිවරයා පවසයි.

"මහ ඇමතිතුමා සැලසුමක් ඉදිරිපත් කරලා තිබුණ, ඒකත් අපට නෙවෙයි, බස්නාහිර පළාත් කසල කළමනාකරණ අධිකාරියට," ආචාර්ය ජගත් මුණසිංහ පැවසීය.

'දේශපාලන කුහකකම'

ඉන් අනතුරුව එම ව්‍යාපෘතිය පිළිබඳව විශේෂඥ අධ්‍යයන වාර්තාවක් ලබා දෙන මෙන් කැබිනට් මණ්ඩලය කළ ඉල්ලීම ප්‍රකාර තමන් එවැනි වාර්තාවක් ඉදිරිපත් කළ බවත් සභාපතිවරයා පවසයි.

එහෙත් මහ ඇමතිවරයා පවසන්නේ වෙනත් අදහසකි.

Image copyright Nuwan Bopege/ Facebook

"අවස්ථා තුනකදීම අපි ලිඛිත ඉල්ලීමක් කළා මේ කුණු ටික ටොන් 4000 බැගින් ඉවත්කරන්න අපිට වැඩපිළිවෙලක් තියෙනව. ඒ සඳහා අපිට මේ ඉඩමෙන් කොටසක් ලබාදෙන්න කියලා. නමුත් නාගරික සංවර්ධන අධිකාරිය ඒක ප්‍රතික්ෂේප කළා විතරක් නොවෙයි, පළාත් පාලනයට අයිතිව තිබෙන කුණු කසල ප්‍රශ්නය ඒගොල්ල උදුරගන්න උත්සාහ කළා," යනුවෙන් ද මහ ඇමති ඉසුර දේවප්‍රිය චෝදනා කරයි.

"එදා අපිට මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න අවස්ථාව ලැබුන නම් අද මෙවැනි කණගාටුදායක සිද්ධියක් ඇතිවෙන්නේ නෑ. මේක දේශපාලන කුහකකම මත ඇතිවෙච්ච දෙයක්."

එනමුත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ කුණු ගැටලුව පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කැබිනට් ප්‍රතිකාවක් මගින් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට පවරන ලද බවය. මීතොටමුල්ලේ කුණු පුත්තලම ප්‍රදේශයට ඉවත්කිරීම මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම බවත් ඔහු සඳහන් කළේය.

බස්නාහිර පළාතේ කැලි කසල කළමනාකරණය සම්බන්ධයෙන් ව්‍යාපෘති ගණනාවක් දැනටමත් දියත්කර තිබෙන අතර, කුණුවලින් විදුලිය ජනණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘති නුදුරු අනාගතයේදීම ක්‍රියාත්මක කරන බව ද මහ ඇමතිවරයා බීබීසී යට පැවසීය.

පසුගිය රාජපක්ෂ පාලනය සමයේ පටන්ම කොළොන්නාවේ කුණු ප්‍රශ්නය පිළිබඳව ජනතාව දිගින් දිගටම කළ උද්ඝෝෂණවලට කන් නොදුන් පැවති පාලනයේ සහ වත්මන් පාලනයේ නායකයන් මීතොටමුල්ලේ මරණවලට වගකිවයුතු බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මේ අතර බීබීසී සිංහල ෆේස්බුක් අඩවිය සමග සජීවී සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.