"ජනපති මැදුරේ වාහන පොතේ පිටු ගලවලා"

  • 2017 අප්‍රේල් 18
Image caption වසීම් තාජුදින්

වසීම් තාජුදින් ඝාතනයවූ දිනයේ ජනාධිපති මන්දිරයෙන් පිටත්ව ගිය වාහනවල තොරතුරු අඩංගු ලේඛනයේ පිටු ගලවා තිබීම ගැන පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය අද (අප්‍රේල් 18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිවේදියා කියා සිටියේ ජනාධිපති මන්දිරයේ ප්‍රභූ පුද්ගලයින්ගේ වාහන ගමනාගමනය පිළිබඳව ලේඛනයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

වසීම් තාජුදින් ඝාතනය වූ දිනයට අදාළ තොරතුරු සටහන්කර තිබූ පිටු එම ලේඛනයෙන් ගලවා ඉවත්කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණයවී ඇතැයි ඔහු පැවසීය.

අස්ථි කොටස්

රජයේ නීතිවේදියා අධිකරණයට තව දුරටත් දන්වා සිටියේ ඝාතනයට ලක්වූ වසීම් තාජුදින්ගේ අස්ථි කොටස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි මහාචාර්ය ආනන්ද සමරසේකර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සිදුකළ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වී ඇති බවය.

එම පරීක්ෂණ වාර්තාව ළඟදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ නීතිවේදියා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව ලබන 27 වනදා පැමිණිල්ල නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන්නැයි රහස් පොලිසියට නියෝග කළේය.

එතෙක් සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම විය.