මීතොටමුල්ල වැසියෙකුගෙන් අගමැතිට ප්‍රශ්නයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීතොටමුල්ල වැසියෙකුගෙන් අගමැතිට ප්‍රශ්නයක්

  • 2017 අප්‍රේල් 19

අද (අප්‍රේල් 19) උදෑසන මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ පිහිටුවා ඇති සම්බන්ධීකරණ කාර්යාලයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ, කුණු කන්ද නාය යෑමෙන් විපතට පත්වූවන් සමග අදහස් හුවමාරු කර ගත්තේය.

"ඕගොල්ලන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තට්ටු නිවාස වෙන්කරලා තියෙනවා. ගෙවල් හානි වුනු අයට අපි සහන හොයල දෙන්නම්. අපේ කණගාටුව ජිවිත බේරගන්න බැරිවුණු එක ගැන," යනුවෙන් අගමැතිවරයා ප්‍රදේශවාසීන්ට පැවසිය.

මෙම ව්‍යසනය වළක්වාගැනීමට නිසි පියවරක් නොගත්තේ මන්දැයි අගමැතිවරයාගෙන් විමසූ එක් කාන්තාවක් කුණු ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය යැයි ඉතා හැඟීම්බරව පැවසුවාය.

එයට ප්‍රතිචාර දැක්වූ අගමැතිවරයා, කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරමින් සිටියදී එම ඛේදවාචකය සිදු වූ බව සඳහන් කළේය.

'නිසි වැඩපිළිවෙලක්'

"පරිපාලන, නීතිමය ප්‍රශ්න තිබුණා, සමහර තැන්වල උද්ඝෝෂණ තිබුණා. අපි හිතුවේ අගෝස්තු මාසේ වෙනකොට මේක හදාගෙන යන්න. ඊට කලින් මේක ඇතුලේ පිපිරුණා," අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය විසඳීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස්කරන බව පැවසූ අගමැතිවරයා, කොළොන්නාවේ ජනතාව පමණක් "බිල්ලට දීමට" ඇතැමුන් උත්සාහ කරන බවට චෝදනා කළේය.

ඉදිරි දින තුන ඇතුළත සියලු කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවන බව අනතුර වූ ස්ථානයේ මෙහෙයුම්වල නිරතව සිටින හමුදා ප්‍රධානීහු අගමැතිවරයාට දැනුම් දුන්හ.

'ස්ථීර නිවාස'

ඉන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අගමැතිවරයා, ඉදිරි මාස කිහිපය තුළ නිවාස අහිමිවූවන් සඳහා ස්ථිර නිවාස සපයන බවත් එතෙක් ඔවුන්ට විකල්ප වාසස්ථාන ලබා දෙන බවත් සඳහන් කළේය.

"මේ කුණු කන්ද මෙතනින් අපි ඉවත්කරනවා. අනිත් අයගේ පරිසරයට හානි නොවන විදිහට මේ ගැන ක්‍රියාමාර්ග ගැනීමට තිබෙනවා."



ඇතැම් තීරණ ගැනීමේ ප්‍රමාදය අහිමි වූ ජීවිතවල වගකීමෙන් රජයට බැහැරවිය නොහැකි බව සඳහන් කළ ඔහු, ස්ථිර කුණු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් සඳහා අවශ්‍ය නව නීති ගෙන එන බව වැඩිදුරටත් පැවසීය.