Living Dead
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මළගිය ඇත්තන් සමඟ වාසේ

  • 2017 අප්‍රේල් 20

** අවවාදයයි: මෙම ලිපියේ අන්තර්ගත ඡායාරූප ඇතැමුන්ට සංවේදී විය හැකිය.

ලෑලි ගැසූ නිවසේ ආලින්දයේ බඩුමුට්ටු නොවීය. බිත්ති මත තැනින් තැන එල්ලා ඇති පින්තූර කිහිපයක් පමණක් දිස්විය. අල්ලාප සල්ලාපයේ යෙදෙන පිරිසකගේ හඬ පමණක් කන්වැකෙයි. මෙය නෑ හිත මිතුරන්ගේ ළෙන්ගතු හමුවකි.

"තාත්තගේ සැප සනීප කොහොමද?" නිවැසියාගෙන් අමුත්තෙක් අසයි.

එකිනෙහිම සියල්ලන්ගේ නෙත් යොමුවුණේ ආලින්දයේ එක් කොනක පිහිටි කාමරය දෙසටය.

වර්ණවත් කුටිය මැද සැතපී සිටින්නේ වියපත් පුද්ගලයෙකි.

"එයාට තාම සනීප නැහැ." ඔහුගේ දියණිය ලීසා පිළිතුරු දුන්නාය.

Image caption "ශ්ශ්ශ්... සීයට කරදර කරන්න එපා. එයා නිදි. එයාට තරහ යයි." ලීසා තම දරුවන් දෙදෙනා එතැනින් ඉවත් කළාය

මද සිනහවකින් මුව සරසාගත් ඇය පියාගේ උරහිස පෙදෙස යාන්තමින් සොලවා "තාත්තව බලන්න අද අමුත්තන් ගොඩක් ඇවිල්ල. තාත්තට තරහ යන එකක් නැහැනේ?" යනුවෙන් විමසුවාය.

ලීසාගේ පියා කිසිදු චලනයකින් තොරව සැතපී සිටියි. දුහුවිලි වැදුණු උපැස් යුවළක් පැළඳ සිටි ඔහුගේ මුහුණේ අළු පැහැති සම රළුය.

මේ වයෝවෘද්ධයාගේ මුනුබුරා සහ මිනිබිරිය ද කුටියට පිය මැන්නේ කිසිදු චකිතයකින් තොරවය.

"ඇයි සීයා හැමතිස්සෙම නිදාගෙන ඉන්නේ? නැගිටලා එන්නකෝ කෑම කන්න." එක් මුනුබුරා සුරතල් හඬින් තෙපළේය.

"ශ්ශ්ශ්... සීයට කරදර කරන්න එපා. එයා නිදි. එයාට තරහ යයි." ලීසා තම දරුවන් දෙදෙනා එතැනින් ඉවත් කළාය.

සත්‍ය වශයෙන්ම ලීසාගේ පියා මියගොස් දොළොස් වසරක් ගතවී හමාරය.

නමුත් පවුලේ උදවිය සිතන්නේ තවමත් ඔහු ජීවතුන් අතර සිටින බවකි.

මළගිය ඥාතියෙකුගේ සිරුර නිවාස තුළ තබාගෙන දිවි ගෙවීම බොහෝ දෙනෙකුට විස්මය දනවන්නක් වුවත් නැගෙනහිර ඉන්දුනීසියාවේ මිලියනයකට අධික ටොරාජා වැසියන්ට එය සියවස් ගණනක් ඈතට දිවයන සම්ප්‍රදායකි.

Image caption දේහය සමඟ පවුලේ ඡායාරූපයකට පෙනී සිටිති

මෙලොවින් සමුගත් අයෙකු ඊළඟ ආත්මයට යාමට පෙර තමන් ජීවත්වූ පරිසරය තුළ සැරිසරන බව ඔවුහු විශ්වාස කරති.

පවුලේ ඥාතියෙකු මියගිය පසු අවසන් කටයුතු සිදු කිරීමට පෙර මාස ගණනක් හෝ වසර කිහිපයක් දේහය නිවෙස තුළ තබාගෙන ඔහුට හෝ ඇයට සත්කාර කිරීම ඔවුන්ගේ සම්ප්‍රදාය වෙයි.

ලීසගේ පියාට ආහාර පාන පමණක් නොව දිනකට දෙවතාවක් දුම් වැටියක් ද ලැබෙනු ඇත. කාමරයේ එක් කොනක භාජනයක් තබා ඇත්තේ ඔහුගේ ශරීරකෘත්‍යය සඳහා ය. ඔහුගේ ඇඳුම් පැළඳුම් පවා වරින්වර අලුත් වනු ඇත.

මළ සිරුරට කෙරෙන සත්කාරයේ අඩුවක් වුවහොත් තම පවුලට කරදර පැමිණිය හැකි බව ටොරාජා වැසියෝ විශ්වාස කරති.

අතීතයේදී මළ සිරුරු කල් තබා ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගත් නමුත් වත්මන් පරපුර ඒ සඳහා නවීන රසායනික ක්‍රම භාවිත කරයි.

"අපි හැමෝම ක්‍රිස්තියානි තමයි. ඒවුනාට අපි විශ්වාස කරන්නේ තාත්තට අපි කියන කරන දේ තාමත් ඇහෙනවා, පේනවා කියල. නෑදෑයෝ එයාව බලන්න එනව. ටෙලිෆෝන් කරලා එයාගේ සුවදුක් විමසනවා." ලීසා දොඩමළු වූවාය.

Image caption දෙවසරකට වරක් දේහය පෙට්ටියෙන් ඉවතට ගෙන පිරිසිදු කොට අලුත් ඇඳුම් අන්දවා යළි තැන්පත් කරති

ටොරාජා වැසියන් දුක් මහන්සිවී හරිහම්බ කරන්නේ සැපපහසු දිවියක් ගෙවීමට නොව. තේජාන්විත නික්ම යාමක් සඳහාය.

ලිසාගේ අතමිට සරුව තිබෙන තාක් ඇයගේ පියා නිවසේ සැතපී සිටින්නේය.

අනතුරුව උත්කර්ෂවත් අවමංගල්‍යයක් පවත්වමින් ඔහුට සමු දෙනු ඇත.

ඇතැම් අවමංගල්‍ය උත්සව දින තුන හතරක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා ඔවුහු අධික මුදලක් වැය කරති.

ටොරාජා වැසියන් මළසිරුරු භූමිදානය කරන්නේ කලාතුරකිනි. බොහෝවිට ඔවුහු තම ඥාතීන්ගේ දේහ ලෙනක තැන්පත් කරති.

කෙසේ නමුත් එයද අවසානය නොවේ. දෙවසරකට වරක් ඥාතීහු පැමිණ දේහය පෙට්ටියෙන් ඉවතට ගෙන පිරිසිදු කොට අලුත් ඇඳුම් අන්දවා යළි තැන්පත් කරති. දේහයට ආහාර පාන මෙන්ම දුම්වැටි පූජා කරති. දේහය සමඟ පවුලේ ඡායාරූපයකට පෙනී සිටිති.