ඩෙංගු කීටයන් හමුවුනොත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නඩු

  • 2017 අප්‍රේල් 21
BBC Tamil

ඩෙංගු මදුරු කීටයන් හමුවන පාසල් සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දිස්ත්‍රික්ක 12 ක් තුළ ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බැවින් එම මදුරුවන් මර්දනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව 2017 වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 33,151 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 61 කි.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, රත්නපුර, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලිනි.

එම දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය දෙමින් ඉහත කී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වැඩබිම් පරික්ෂාවට

එමෙන්ම රට පුරා පිහිටි සියලුම ඉදිකිරීම් කලාප පරීක්ෂාවට ලක් කරන අතර, එහි දී ඩෙංගු මදුරු කීටයින් හමුවුවහොත් අදාළ බලපත්‍රය මසකට අවලංගු කරන බව ද අද (අප්‍රේල් 21) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.



එමෙන්ම ධීවර වරාය හා නැංගුරම් තොටුපලවල එකතු වන කැළිකසල පළාත් පාලන ආයතන මාර්ගයෙන් ඉවත් කිරීමට ද අදාළ සාකච්ඡාවේ දී තීරණය කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර