"හයසිය දෙනෙක් මානසික රෝහලේ කොටු වෙලා"

  • 2017 අප්‍රේල් 23
මානසික රෝග සායන හිඟවීම හේතුවෙන් මුලදී නිවස ආසන්නයේම රෝගීන්ට ප්‍රතිකාර කළ නොහැකිවීම රෝගීන් යළි නිවසට රැගෙන නොයාමට එක් ප්‍රධාන හේතුවකි
Image caption සායන හිඟවීම හේතුවෙන් මුලදී නිවස ආසන්නයේම රෝගීන්ට ප්‍රතිකාර කළ නොහැකිවීම සුවය ලැබූවන් යළි නිවසට රැගෙන නොයාමට එක් ප්‍රධාන හේතුවකි

මානසික රෝගාබාධවලින් පෙලී, ප්‍රතිකාර ලබා, පූර්ණ සුවය ලැබූ 600 කට ආසන්න පිරිසක් තවමත් රෝහල්ගතව සිටින බව වෛද්‍යවරු පවසති.

ප්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් ඥාතීන් ඔවුන් යළි සිය නිවාසවලට රැගෙන යාමට මැලිකමක් දක්වන බව අංගොඩ මානසික රෝහලේ, මානසික රෝග පිළිබඳ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් බීබීසී සිංහල සේවයට පැවසීය.

විශේෂයෙන්ම අංගොඩ සහ මුල්ලේරියාව මානසික රෝහල් දෙකේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ වූයේ ඔවුන් යළි සමාජගත කිරීම පිළිබඳව සලකා බැලීමෙන් තොරව බව පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා, එබැවින් දුර බැහැර ප්‍රදේශවල සිට රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔවුන් සිය සමාජයෙන් ගිලිහුණු බවත් සඳහන් කළේය. (සාකච්ඡාව ඇතුළත් බීබීසී සංදේශය)

විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පෙන්වාදෙන පරිදි සුවය ලැබූ රෝගීන් යළි නිවසට රැගෙන නොයාමට තුඩු දෙන අනෙක් ප්‍රධාන කරුණු අතර:

  • ඥාතීන්ගේ ජීවිතය කාර්ය බහුල වීම හේතුවෙන් රෝගියා අමතකවීම
  • ආරම්භයේදී මානසික රෝග සායන හිඟවීම හේතුවෙන් නිවස ආසන්නයේම රෝගීන්ට ප්‍රතිකාර කළ නොහැකිවීම
  • ප්‍රතිකාර ලබා දුන්නත් ඇතැම් රෝගීන් දිගටම ඇතැම් රෝග ලක්ෂණ (Residual Symptoms) ප්‍රදර්ශනය කිරීම
  • මානසික රෝගීන් සම්බන්ධයෙන් සමාජයේ පවතින යල් පැනගිය ආකල්ප
Image caption "කියන්න සන්තෝසයි, ඉස්සරහට වඩා දැන් ආකල්ප ගොඩක් වෙනස්වෙලා"

එහි ප්‍රතිඵලයක් වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිණිස වැයවන රජයේ මුදල් සුවය ලැබූ පුද්ගලයන් රැකබලා ගැනීම පිණිස වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදු වී තිබේ.

"පිටරට වගේ නම් සමාජ සේවා අමාත්‍යාංශය විසින් තමයි මේගොල්ලන්ව රැක බලා ගන්නේ. ඒත් ලංකාවේ මේගොල්ලන්වත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රැක බලාගන්නවා," විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පැවසීය.

Image caption "පිටරට වගේ නම් සමාජ සේවා අමාත්‍යාංශය විසින් තමයි මේගොල්ලන්ව රැක බලා ගන්නේ"

මානසික රෝගීන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජයේ ප්‍රබල ආකල්පමය වෙනසක් සිදුවෙමින් පවතින නමුත්, රෝගයෙන් සුවය ලැබුවත් විශේෂයෙන්ම රැකියා වෙළඳපොලේ පවතින තරගකාරී වාතාවරණය හේතුවෙන් ඔවුන්ට ඒ තරගයට මුහුණදීමට අසීරුවීම ඔවුන් යළි නිවසට කැඳවාගෙන යාමේදී ඥාතීන් මුහුණදෙන තවත් ප්‍රධාන ගැටලුවකි.

අනෙක් අතට ඔවුන් වෙනුවෙන් පුනරුත්ථාපන ක්‍රියාදාමයක් දියත්කර, අපහසුවෙන් හෝ ඔවුන් යළිත් සමාජගත කිරීම ඔවුන් තුළ ඉතිරිව පවතින රෝග ලක්ෂණවලින් (Residual Symptoms) සුවය ලැබීමට රුකුලක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. (බීබීසී සංදේශයට සවන්දෙන්න)