අඹු සැමියන්ට රැකියා දීම මන්ත්‍රීවරුන්ට තහනම්

  • 2017 අප්‍රේල් 24
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව Image copyright PA
Image caption වත්මන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 650 ක් අතරින් 151 දෙනෙකු සිය අඹු සැමියන්, ඥාතීන් හෝ සහකරුවන් මහජන මුදලින් සේවයේ නිරත කරගෙන තිබේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය සහකරු හෝ සහකාරියට මහජන මුදල්වලින් රැකියා සැපයීම තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු කටයුතු පාලනය කරන ස්වාධීන අධිකාරියක් තීරණය කර තිබේ.

Ipsa හෙවත් පාර්ලිමේන්තු ප්‍රමිතීන් පිළිබඳ ස්වාධීන අධිකාරිය (The Independent Parliamentary Standards Authority) පසුගිය වසරේ එළැඹුණු මෙම තීන්දුව ක්‍රියාවට නැගීමට නියමිතව තිබුණේ 2020 පැවැත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණයෙන් අනතුරුව තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහාය.

එහෙත් නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් කැඳවීමට අගමැතිනි තෙරේසා මේ තීරණය කිරීමත් සමග මේ වසරේ ජුනි මස 08 වෙනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් තේරී පත්වන ජනතා නියෝජිතයන්ට එම නියෝගය අදාළ වේ.

'යල් පැනගිය ක්‍රමයක්'

Ipsa අධිකාරිය පසුගිය වසරේ එළැඹුණු තීන්දුවෙන් අනතුරුවත් සිය අඹු සැමියන්, ඥාතීන් හෝ සහකරුවන්ට රැකියා සපයා දී තිබුණු මන්ත්‍රීවරුන් 151 දෙනෙකුට ඔවුන් දිගටම සේවයේ යොදාගැනීමට අවස්ථාව හිමිවිය. එය සමස්ත මන්ත්‍රීවරුන් අතරින් හතරෙන් එකකට ආසන්න සංඛ්‍යාවකි.

නූතන සේවා නියුක්ති ක්‍රමවේදයන් ප්‍රකාර මහජන නියෝජිතයන් සිය පවුලේ සාමාජිකයන් සේවයේ යෙදවීම "යල් පැනගිය" ක්‍රමයක් බව පාර්ලිමේන්තු ප්‍රමිතීන් පිළිබඳ ස්වාධීන අධිකාරිය පවසයි.

එහෙත් අදාළ කාර්යය සඳහා සිය සහකරු හෝ සහකාරිය සුදුසුම පුද්ගලයන් බව ඔවුන් සේවයේ යොදවාගත් මන්ත්‍රීවරුන්ගේ තර්කය වී තිබේ.

බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රීවරුන් සිය අතිරේක වියදම් සඳහා මහජන මුදල් වැයකරන ආකාරය පිළිබඳව 2010 වසරේ ප්‍රබල ආන්දෝලනයක් මතුවිය. ඉන් අනතුරුව මන්ත්‍රීවරුන්ගේ අතිරේක වියදම් පිළිබඳව Ipsa අධිකාරිය නව නිර්දේශ ප්‍රකාශයට පත්කළේය.

මහජන මුදලින් මන්ත්‍රීවරුන්ගේ අඹු සැමියන්ට රැකියා දීම තහනම් කිරීමද එම නව විධිවිධානවලට ඇතුලත් වේ.

මීළඟ මහ මැතිවරණයෙන් අනතුරුව මන්ත්‍රීවරුන් විසින් එසේ සේවයේ යොදවන ඔවුන්ගේ අඹු සැමියන්ගේ වේතන නොගෙවන බව Its අධිකාරියේ සභාපතිනි රූත් එවන්ස් නිවේදනය කළේය.

මන්ත්‍රීවරුන්ට විශ්වාසය තැබිය හැකි පුද්ගලයන් සිය කාර්ය මණ්ඩලවල සේවයේ නිරත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව පිළිගන්නා Ipsa අධිකාරිය, එහෙත් එසේ විශ්වාසය තැබිය හැක්කේ පවුලේ සාමාජිකයන් මත පමණක්ය යන්න පිළිගත නොහැකි බව වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම සේවයේ යෙදවීමෙන් අනතුරුව මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක සමග පෙම් සබඳතාවක් අරඹන තැනැත්තෙකුගේ කොන්ත්‍රාත්තුවද එම ප්‍රේම සම්බන්ධය ආරම්භ වූ දිනයේ සිට වසර දෙකකට පසුව අවසන් කළයුතුය.

මහජන මන්ත්‍රීවරුන් විසින් සේවයේ යොදවාගනු ලබන අඹු සැමියන්, ඥාතීන් හෝ මිතුරු මිතුරියන්ට වෙනත් පුද්ගලයෙකුට වඩා සාමාන්‍යයෙන් වසරකට බ්‍රිතාන්‍ය පවුම් පන් දහසක මුදලක් ගෙවනු ලබන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.