උතුරු නැගෙනහිර හර්තාල්

  • 2017 අප්‍රේල් 27

ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ පවතින සිය මුල් ඉඩම් යළි ලබා දීම, දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන්ගේ ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් අද (අප්‍රේල් 27) උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ගණනාවක හර්තාල් පැවැත්විණි.

එම ප්‍රදේශවල වෙළෙඳසල් වසා දමා තිබෙන අතර මගී ප්‍රවාහන සේවා ඇනහිට ඇති බව වාර්තා වේ.

පාසල් වෙත ළමුන් හා කාර්යාල වෙත සේවකයන් පැමිණිමේ ද අඩුවක් තිබෙන බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

උතුරු පළාතේ නගරවල කාර්යබහුල ස්ථාන පාළුවට ගොස් ඇති බව වාර්තාවන අතර නැගෙනහිර පළාතේ මඩකලපුව ප්‍රදේශයේ හර්තාලය ක්‍රියාත්මක වුවත් අම්පාර නගරයේ එය ක්‍රියාත්මක නොවීය.



උතුරේ මුල් ඉඩම් නිදහස් කරන ලෙස සහ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් නිසි පිළියම් ලබාදෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ ස්ථාන කීපයකම දැනට මාස දෙකකට ආසන්න කාලයක සිට අඛණ්ඩව විරෝධතා දියත් වේ.

ඉහත කී ගැටලු විසඳීමට රජය කටයුතු නොකරන බවට චෝදනා කරන උතුරු පළාතේ දේශපාලන පක්ෂ විසින් ඊට විරෝධය පළ කොට හර්තාල් ව්‍යාපාරය සංවිධානය කරනු ලැබීය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

ඊයේ (අප්‍රේල් 26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කරුණු විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ උතුරේ දෙමළ ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් මෙවන් හර්තාලයක් පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ යහපාලන රජය යටතේ බවය.

අතුරුදහන්වූවන්ගේ ගැටලු 1971 වසරේ සිට පවතින බව කී ඔහු වත්මන් ආණ්ඩුව එම ගැටලු විසඳීමට උත්සාහ කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්