ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ගයක් පිළිබඳ යළි සාකච්ඡා?

  • 2017 අප්‍රේල් 27
රනිල් ඉන්දීය සංචාරය Image copyright Ranil Wickremesinghe/FB
Image caption අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා අගමැතිවරයා සමග ඊයේ (අප්‍රේල් 26) යෙදුනු සාකච්ඡාවකින් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි යන්න මෙතෙක් වාර්තාවී නොමැත.

අගමැතිවරයා සහ අමාත්‍ය නිතින් ගද්කාරි අතර පැවති සාකච්ඡාව පිළිබඳ ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නොතිබිණි.



යාපනය - මන්නාරම - ත්‍රිකුණාමලය මහාමාර්ගය සහ දඹුල්ල - ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළු ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ප්‍රවාහන,මහාමාර්ග සහ නාවික කටයුතු අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි පැවසුවේ යැයි අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

Image copyright twitter.com
Image caption අමාත්‍ය නිතින් ගද්කාරි විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය

පසුගිය වසරේදී

පසුගිය වසරේදී ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීම සම්බන්ධයෙන් නිතින් අමාත්‍යවරයා අදහස් පළ කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවක කියා සිටියේ එවැනි පාලමක් ඉදිකිරීමේ කිසිදු සුදානමක් නොමැති බවය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව පසුගිය අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එවක ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීමේ සුදානමක් නොමැති බවය.

ඉන්දීය දේශපාලනඥයන් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ යොදා ගනිමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බීබීසී යෙන්