කොළඹ කුණු කොයිබටද?

  • 2017 අප්‍රේල් 28
කසල Image copyright Getty Images
Image caption කරදියාන කසල අංගනය

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග කොළඹ මහ නගරසභාවේ කැලිකසළ පිළියන්දල කරදියාන කසළ අංගණයට බැහැර කිරීමට දී තිබූ අවසරය අදින් (අප්‍රේල් 28) අවසන් වන බව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කරයි.

අප්‍රේල් 17 සිට අප්‍රේල් 28 වෙනිදා දක්වා දිනකට කැලිකසළ මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසළ අංගණයට බැහැර කිරීමට මීට ඉහතදී අධිකරණය නියෝග කොට තිබිණි.

කෙසේ නමුත් තවදුරටත් කරදියාන කසළ අංගණයට අපද්‍රව්‍ය බැහැර කිරීමට අවශ්‍ය බවට කිසිදු ඉල්ලීමක් කොළඹ නගර සභාවෙන් හෝ රජයේ බලධාරීන්ගෙන් අධිකරණයට ඉදිරිපත් වී නොතිබිණි.

කොළඹ මහ නගරසභාවේ කැලිකසළ දොම්පේ ප්‍රදේශයට බැහැර කිරීම ද මේවන විට නවතා දමනු ලැබ ඇත.



පසුගිය අඟහරුවාදා රැස් වූ කැබිනට් මණ්ඩලය කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීමට අවසර ලබා දුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යෝජනාවක්

Image copyright Getty Images

එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර කරන ලද යෝජනාවක් සැළකිල්ලට ගනිමින්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05 ක භූමි ප්‍රමාණයක් තුළ දිනකට කසළ මෙට්‍රික් ‍ටොන් 400 ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇත.

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පළාත් පාලන ආයතන විසින් ඝන අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කරනු ලැබීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ සැළකිලිමත් වෙමින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සෘජු ලෙස සම්බන්ධවන රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් කසළ කළමනාකරණය සඳහා කාර්යසාධන බලකායක් සහ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අවසරය හිමිව තිබේ.



ඊට අමතරව මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව ඝන අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් පොහොර සහ විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා අවසර හිමිව ඇති ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහාත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

පාර්ලිමේන්තුව

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"පිරිසිදු ලංකා ගෙදරින් පටන් ගමු"

මේ අතර මීතොටමුල්ල කසළ කන්දේ ගැටලුව හා කුණු ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේවන විට පැවැත්වෙමින් තිබේ.

කසළ ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහජන ආරක්ෂක පනත යටතේ කළ නියෝගයට පාර්ලිමේන්තු අවසරය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුව කැඳවනු ලැබ තිබිණි.

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මීතොටමුල්ල කසළ කන්දේ ගැටලුව හා කුණු ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ පිළිබඳ කල්තැබීමේ විවාදයක් ඉල්ලා සිටි අතර මේවන විට එම විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර