පොලිසියේ වද බන්ධන ගැන "ඇමති වගකිවයුතුයි"

  • 2017 අප්‍රේල් 28
වද බන්ධන Image copyright Ahrc

පොලිස් අත්අඩංගුවේදී තමන්ට පහර දී බරතල ලෙස වද බන්ධනවලට ලක් කළ බවත් ගම්පොල ප්‍රදේශවාසීන් දෙදෙනෙක් චෝදනා කරති.

සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔවුන් දෙදෙනා පැහැරගනු ලැබූ බව මුලින් විශ්වාස කෙරුණ නමුත්, ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පිළිගෙන තිබේ.

පොලිසියේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පියවර ගැනීමට ජාතික පොලිස් කොමිසමට හැකියාවක් නොමැතිද?

"කවුරුහරි පැමිණිලි කරනවා නම් පොලිස් කොමිසමට බලතල තියෙනව ඒවා ගැන පරීක්ෂා කරන්න," මානව හිමිකම් පිළිබඳ නීතිවේදී එස් ජී පුංචිහේවා බීබීසී සිංහල සේවයට පැවසීය.

"නමුත් ඒවා වසන් කරන්නත් යම් යම් නීති ප්‍රතිපාදන ඒගොල්ල පාවිච්චි කරනවා."

කිසිවකු පැමිණිලි නොකළත්, ජනතා සුබසිද්ධිය උදෙසා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් විමසා බලා පියවර ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී එස් ජී පුංචිහේවා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ එවැනි තත්වයක් නොමැති බැවින් පොලිසියේ අපරාධ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වගකීම භාරගත යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදියාගේ අදහසය.

අත්අඩංගුවේ පසුවන රැඳවියන්ට වද දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ පොලිසියට සහ ආරක්ෂක හමුදාවලට පසුගිය සමයේ නිරන්තරයෙන් චෝදනා එල්ලවිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයෙන් නව ආණ්ඩුව බලයට පත්වූයේ එවැනි සියලු ආකාරයේ බරපතල මානව හිමිකම් උල්ලංඝනවලට නැවතීමේ තිත තබන බවට ප්‍රතිඥා දෙමිනි.

එහෙත් නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ පොලිසිය සහ ආරක්ෂක හමුදා රැඳවියන්ට දිගටම වද බන්ධන පනවන බවට වද බන්ධනවලට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවද පසුගියදා චෝදනා කළේය.

"එක ප්‍රශ්නයක් තමයි රටේ නීතියක් නැතිකම. අනිත් ප්‍රශ්නය තමයි මානුෂික තත්වයෙන් රටේ මුළු ජනතාවම තුරන්වීම," නීතිවේදී එස්ජී පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොලිසියේ සහ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ මෙවැනි බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන බව දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම එල්ල කරන චෝදනාවකි.

පොලිස් අත්අඩංගුවේදී රැඳවියන්ට වද බන්ධන පනවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේදැයි විමසීම පිණිස ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.