සුනඛයින්ගේ හෙට දවස කුමක්ද?

  • 2017 අප්‍රේල් 28

සුනඛයා මිනිසාගේ පැරණිතම මිතුරා ලෙස සැළකේ.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සුනඛයන් 16,000 ක් පමණ වෙසෙන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා පැවසීය.

එම තත්වය "බලගතු ප්‍රශ්නයක්" ලෙස හඳුන්වන ඇමතිවරයා එය පාලනය කිරීමට කාලය එළඹ ඇති බවත් කියා සිටියේය.

සුනඛ ගහනය පාලනය කරන්නේ කෙසේද?

අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ එකී ප්‍රකාශය හමුවේ සුනඛයන් මරා දැමීමේ සූදානමක් පවතින්නේ දැයි සත්ව අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ඇතැම් සංවිධාන බිය පළ කරයි.

"කොළඹ නගර සීමාවේ ඉන්න සුනඛයන් මාස තුනක් ඇතුළත අඩු වුනේ නැතිනම් එතුමා මැදිහත් වෙලා මේ සත්තු ඉවත් කරනවා කියලා අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා ප්‍රකාශ කළා"

"සතුන් ඉවත් කරනවා" යන්නෙන් ඇමතිවරයා අදහස් කරන්නේ එම සතුන් වෙනත් ප්‍රදේශයකට ගෙන යාමද නැතහොත් එම සතුන් මරා දැමීම දැයි ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුව ප්‍රශ්න කරයි.

වසරකට සුනඛයන් ලක්ෂයක්

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සුනඛයින් පිළිබඳ මත ගැටුම යළි කරලියට

ජලභීතිකාව පැතිර යාම වැළැක්වීම සඳහා 2005 වසරට පෙර වසරකට සුනඛයන් ලක්ෂයක් පමණ මරා දැමුණු බව ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු පශු වෛද්‍ය චමිත් නානායක්කාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

සුනඛයන් මරා දැමීමේ ක්‍රමවේදය 2005 වසරේ දී නවතා දැමුණු බව කී ඔහු 2008 වසරේ දී සුනඛ දෙනුන් වන්ද්‍යාකරණ කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වූ බව සඳහන් කළේය.

ඒ අනුව මේ දක්වා සුනඛයන් ලක්ෂ නව දෙනෙකු වන්ද්‍යාකරණ සැත්කමට භාජනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පවසයි.



2007 වසරේ එම වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ ශ්‍රී ලංකාව තුළ සුනඛ ගහනය ලක්ෂ තිහක් පමණ වූ බව කී පශු වෛද්‍ය චමිත් නානායක්කාර මේ වනවිට එම සංඛ්‍යාව ලක්ෂ විස්ස දක්වා අඩු වී ඇති බව පෙන්වා දෙයි.

එම වැඩපිළිවෙළ හේතුවෙන් සුනඛයන් සපා කෑමට ලක් වූ පුද්ගලයන්ට එන්නත් ලබා දීම සඳහා ආණ්ඩුව වැය කළ රුපියල් මිලියන 600 ක පමණ පිරිවැය මේ වනවිට රුපියල් මිලියන 285 දක්වා අඩු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු පවසන පරිදි 2008 වසරට පෙර ජලභීතිකාව වැළඳී පුද්ගලයන් 60 දෙනෙකු පමණ වසරකට මරණයට පත් වී ඇති අතර පසුගිය වසර වනවිට එම සංඛ්‍යාව 12 දක්වා අඩු වී ඇත.

"එතකොට මේක රටට, ආර්ථිකයට හයියක් වුනා වගේම මිනිස් මරණ අඩුවෙලා තිබෙනවා. ඒ වගේම ඉතිහාසය පුරා මිනිස්සු එක්ක සුහදව සිටි මේ සතාටත් මිනිස්සු එක්ක ඉන්න පුළුවන් ආකාරයට ආරක්ෂාව සැලසී තිබෙනවා"

"ප්‍රජා සුනඛයින්"

Image caption වන්ද්‍යාකරණ සැත්කමට භාජනය කළ සුනඛයින්

ශ්‍රී ලංකාවේ සුනඛ ගහනයෙන් 2% කටත් අඩු ප්‍රතිශතයක් අයාලේ යන සුනඛයන් බව කී පශු වෛද්‍ය චමිත් නානායක්කාර "ලංකාවේ ඉන්නේ අයිතිකාරයෝ ඉන්න සුනඛයන් සහ නැතිනම් කඩමන්ඩිවල ඉන්න මිනිස්සු කන්න බොන්න දෙන සුනඛයෝ. එවැනි සතුන් හඳුන්වන්නේ ප්‍රජා සුනඛයන් ලෙසයි" යනුවෙන් පැවසීය.

කොළඹ සහ සෙසු දිස්ත්‍රික්කවල වෙසෙන සුනඛයන් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පශු වෛද්‍යවරයා කියා සිටියේ සුනඛයන් මරා දැමීමෙන් වැළකී ක්‍රමානුකූලව සත්ව ගහනය අඩු කිරීමට වැඩපිළිවෙළක් සැකසිය හැකි බවය.

"ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පදනමක් සහිත වැඩපිළිවෙළක් අපි ගාව තිබෙනවා"

"ඒ වගේම මේ රටේ බහුතරයක් අය සත්තුන්ට ආදරේ කරනවා"



මේ අතර එක් එක් ස්ථානවල සිටි සුනඛයන් සිය දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බව කී පශු වෛද්‍යවරයා එම සතුන් මරා දමා ඇති බවට සැක කරන බව පැවසීය.

සුනඛයන් මරා නොදමන බවට පොරොන්දුවක් ලබා දෙන මෙන් සිය ආයතනය ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු පශු වෛද්‍ය චමිත් නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්