සිරිකොතට වෙඩි තැබීමක්

  • 2017 මැයි 1
Image caption වෙඩි පහරින් අලියා ලාංඡනයට ද හාණි සිදුවී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට වෙඩි තබනු ලැබීමක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගනුලැබ ඇත.

ස්වයංක්‍රීය ගිනි අවියකින් තබන ලද වෙඩි පහර ගොඩනැගිල්ලේ කවුළු, පක්ෂයේ නිල ලකුණ වන අලියා ලාංඡනය සහ පණ්ඩිතරත්න මැදිරිය පසාරු කරගෙන ගොස් බිත්තිවල වැදී ඇතිබව විදේශ නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

මැයි දින උදෑසන එල්ල කෙරුණ වෙඩිපහර හදිසි අනතුරක් යයි මුලදී ප්‍රකාශ කරන ලද නමුත් ඒ සම්බන්ධයෙන් රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් නිලධාරියකුගෙන් ප්‍රශ්න කෙරෙමින් ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

වෙඩි පහරින් කිසිවකු තුවාල ලැබ නැත.

අත්අඩංගුවට ගනු ලැබ ඇති පොලිස් භටයා කලින් පොලිස් කොමාන්ඩෝ බලකායේ නිරත වූවකු වන අතර දැනට ඔහු අමාත්‍යාංශ ලේකම්වරයකුගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි තැනැත්තෙකි.

Image caption වෙඩි පහර වැදුන පණ්ඩිතරත්න මැදිරිය

වෙඩිතැබීම සිදුවෙන අවස්ථාවේ සිරිකොත කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් මැයි දින රැලියට සහභාගී වෙමින් සිටියහ.

මෙවර මැයි දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් භටයන් 7000ක් කොළඹ නගරයේ රඳවා සිටි බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මේ අතර ගාලුමුවදොර පිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගී වෙමින් සිටි දෙදෙනකු හදිසියේ මරණයට පත් වූ බවක් ද වාර්තා වෙයි.