අඩි 15000 කින් බිමට පැන්න ලංකාවේ සෙබළු

  • 2017 මැයි 2
හමුදා අභ්‍යාසය

අඩි පහළොස් දහසක උඩක සිට පැරෂුට් ආධාරයෙන් නිරුපද්‍රිතව බිමට පැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල සෙබළ, සෙබලියන් 25 දෙනෙක් සමත්වූහ.

පැරෂුට් ආධාරයෙන් බිමට පැනීමේ දෙදින අභ්‍යාසය සඳහා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ කමාන්ඩෝ බලකායේ සෙබළ, සෙබළියන් 39 දෙනෙක් එක් වී සිටියහ. සෙබළියන් සිව් දෙනෙක්ද ඒ අතර සිටියහ.

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ඉස්මත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා පුහුණු කඳවුරේදී අඟහරුවාදා (මැයි 02) මුලින්ම සිව්දෙනෙක් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයකින් අඩි 15000 ක් උසට නැග පැරෂුට් මාර්ගයෙන් චන්ද්‍රිකා වැවට ගොඩ බැස්සහ.

ඒ අවස්ථාවේ විවිධ වර්ණයෙන් යුත් පැරෂුට් අහසේ පාවෙද්දී විචිත්‍ර දසුන් මැවුණි. අභ්‍යාසය දැකගැනීම පිණිස විශාල පිරිසක් ඒ අසලට රැස් වී සිටියහ.

ඉන් අනතුරුව තවත් කණ්ඩායම් දෙකක්ද ඒ ආකාරයටම නිරුපද්‍රිතව බිමට පැනීමට සමත්වූහ.

මුල් දිනයේ (මැයි 01) අභ්‍යාසය සඳහා යුද හමුදාවේ 14 දෙනෙකු සහභාගි වූහ.

අඟහරුවාදා අභ්‍යාසයට එක් වූ සෙබළ, සෙබළියන් සියලු දෙනාම නිරුපද්‍රිතව සිය ඉලක්කයට ගොඩ බැස්සහ.

අභ්‍යාසය අතරවාරයේ යුද හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායම්, බෝට්ටු සහ ගිලන් රථ සීරුවෙන් තබා තිබුණි.