Mujibar
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ජනපති, අගමැති තද තීන්දු ගත යුතුයි"

  • 2017 මැයි 2

සමස්ත ජනතාවට බලපාන ප්‍රශ්න විසඳීමේ දී ඊට එරෙහිව වීදි බසින සුළු පිරිස ගැන නොතකා "තද තීරණ" ගතයුතු බව යහපාලන මන්ත්‍රීවරයෙක් ඉහල නායකත්වයට අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව කියා සිටියේ මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව යහපාලනයට එල්ලවන චෝදනා පිළිබඳව බීබීසීය විමසූ අවස්ථාවේදී ය.

ලන්ඩනයේ සංචාරයක නිරතවන අතරතුර බීබීසී විකාශන මැදිරියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ මීතොටමුල්ලේ ඛේදවාචකය පිළිබඳ වගකීම සියලු දේශපාලකයන් "අඩු වැඩි වශයෙන්" භාරගත යුතු බවය.

සීයක් දෙසීයක් පාරට

"මමනම් කියන්නේ ආණ්ඩුවක් හැටියට තද බල තීන්දු ගත යුතුයි. මේ සීයක් දෙසීයක් පාරට බැහැල කෑගහල අකුල් හෙලනවානම් රජය තද තීරණ ගත යුතුයි. මම කියන්නේ ඉහල නායකත්වය. ජනාධිපති තුමා, අගමැති තුමා, කැබිනට් මණ්ඩලය. ඒ අය තමයි තීරණ ගන්නේ. අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට කියන්නේ තීන්දු තීරණ ගන්න. මේ සීයක් දෙසීයක් පාරට බැස්සා කියල ඒවා ආපස්සට ගන්න එපා." යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

සාකච්ඡාවේ වීඩියෝ පටය ඉහළින් අමුණා ඇත.

ඉල්ලා අස්විය යුතු බව

ජනතාවගේ ඉල්ලීම්වලට සහ විරෝධතාවලට සවන් දීම යහපාලනය නොවේදැ'යි බීබීසීය විමසූවිට ඔහු කියා සිටියේ යම් යම් ආයතන සහ සංවිධාන ඉදිරියට දමමින් යහපාලනය පෙරළීමේ න්‍යායපත්‍රයක් මත සැලසුම් සහගතව මෙම විරෝධතා දියත්වන බවය.

"කවුරුවත් දන්නෙ නැහැ එකහමාර දෙක වෙනකොට ලෝටස් පාරට එනව, පාර වහ ගන්නවා. උද්ඝෝෂණය කරනවා." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

මීතොටමුල්ල කුණු කන්ද නායයාම පිළිබඳව වගකීම භාරගෙන තමා ඉල්ලා අස්විය යුතු බවට එක්තරා මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූවිට ඔහු කියාසිටියේ තමන් "කුණු කන්ද පෙන්වා" ජනතාවගේ ඡන්දය ලබා නොගත් බවය.