වෛද්‍ය වර්ජනය ගැන ජනතා මැසිවිලි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෛද්‍ය වර්ජනය ගැන ජනතා මැසිවිලි

  • 2017 මැයි 5

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (මැයි 05) ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත් වී ඇති බවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් වෙත පැමිණි රෝගීහු මැසිවිලි නගති.

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර තුනකට අදාළ ඉල්ලීම් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෘත්තීය සමිති ගණනාවක් අද සංකේත වැඩවර්ජනයක් දියත් කළහ.

පහත සඳහන් කරුණු පහට විරෝධය පළ කරමින් වර්ජනය දියත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

  • මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු නොකිරීම
  • ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව එක්ටා අන්තර්ජාතික වෙළඳ ගිවිසුම අත්සන් නොකිරීම
  • රාජ්‍ය අංශය දිය කර හැරීම
  • විශ්‍රාම වැටුප් කප්පාදුව
  • රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම

කෙසේ නමුත් රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් යොදවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.



දුම්රිය සේවා

මේ අතර අද උදෑසන 08 ට ආරම්භ වූ දුම්රිය වර්ජනය හෙට (මැයි 06) උදෑසන 08 ට දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

අද දින සේවයට වාර්තා නොකළ කොන්ත්‍රාත්තු පදනම මත සිටින රියදුරන් සහ නියාමකවරුන් සේවය අතහැර ගොස් ඇති බව සලකා කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගුරුවරුත් වර්ජනයේ

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ අරමිනින් තමන් ද වර්ජනයට එක් වූ බව ලංකා ගුරු සංගමය කියා සිටියේය.

50% ක් පමණ ගුරුවරු සේවයට වාර්තා කර නොමැති බව කී එම සංගමයේ කැඳවුම්කරු ජෝශප් ස්ටාලින් වර්ජනය සාර්ථක වූ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ගුරු වර්ජනය අසාර්ථක වී ඇති බවය.

සියලුම පාසල්වල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.